යාපනය සරසවි සිසු ඝාතනය: 'අගමැති පොරොන්දු ඉටුකර නැහැ'

  • 2016 දෙසැම්බර් 24
Image caption ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ පවසන්නේ අග්‍රාමාත්‍යවරයා දුන් එම පොරොන්දුව මත සියළු වර්ජන උද්ඝෝෂණ හමාර කොට විශ්ව විද්‍යාලය යළි විවෘත කළ බවයි.

පොලිස් වෙඩිතැබීමකින් මරණයට පත්වූ බවට සැකකෙරෙන යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාට වන්දි ගෙවීම පිණිසත්, පොලිස් පරීක්ෂණ කඩිනම් කිරීමටත්, සතියක් ඇතුළත විශේෂ කමිටුවක් පිහිටුවීමටත්, අග්‍රාමාත්‍යවරයා එකඟවූ නමුත් මේ දක්වා එම කමිටුව පිහිටුවා නැතැයි යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් පවසති.

අග්‍රාමාත්‍යවරයා මේ පොරොන්දුව වූයේ යාපනය විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් දාහත් දෙනෙකු නොවැම්බර් මස පළමුවැනිදා කොළඹදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදීය.

ජනාධිපතිවරයා එසේ හදිසි සාකච්ඡාවක් කැඳවන ලද්දේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විශ්ව විද්‍යාල භූමියට ඇතුළුවීමට පාලන අධිකාරියට ඉඩ නොදී විශ්ව විද්‍යාලයේ ගේට්ටු වසාදමා උද්ඝෝෂණය කළ අවස්ථාවේදීය.

මියගිය එක් ශිෂ්‍යයෙකු වෙණුවෙන් රුපියල් මිලියන දහය බැගින් ඔවුන්ගේ පවුල්වලට වන්දි ගෙවන ලෙසත්, එම පවුල් දෙකේ අවශ්‍යතාවයන් සොයා බලා රජය විසින් යම් සහනයක් සැලසිය යුතු බවත් මේ සාකච්ඡාවේදී ශිෂ‍ය සංගම් නියෝජිතයෝ ඉල්ලා සිටියහ.

ඊට අමතරව පොලිස් පරීක්ෂණ කඩිනම් කරණ ලෙසත්, ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් වූ නඩුව මහාධිකරණය මගින් විභාගයට ගන්නා ලෙසත්, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලීම් කොට තිබුණි.

මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විශ්ව විද්‍යාල නියෝජිතයින්ට පවසා ඇත්තේ මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දැනගැනීමට විශේෂ කොමිසමක් පත්කොට එම කොමිසමේ නිර්දේශයන් මත සාධාරණ වන්දියක් ගෙවීමට කටයුතු කරණ බවයි.

අදාල කොමිසම සති දෙකක් ඇතුළතදී වාර්තාවක් නිකුත් කිරීමෙන් පසුව වන්දි ගෙවීම ඇතුළු සියළු කටයුතු ඉටු කිරීමටත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පොරොන්දු වූ බව ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ පවසති.

නමුත් මේ වනවිට මාස දෙකක් ගතවී ඇතත් අවම වශයෙන් විශේෂ කොමිසම හෝ පත්කොට නොමැති නිසා ජනවාරි මාසයේදී විශ්ව විද්‍යාලය විවෘත කිරීමත් සමගම ඊට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවද යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ කියා සිටියහ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස පලමු වෙනිදා පැවති සාකච්ඡාවට නැවත පදිංචි කරවීමේ කටයුතු බාර අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්ද සභභාගි වී සිටි බැවින් ඔහුගෙන් කොමිසම පත්කිරීමට ප්‍රමාද වූයේ මන්දැයි විමසූවිට ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා එවැනි කොමිසමක් පත්කරණ බවට ප්‍රකාශයක් කළේද යන්න තමන්ට මතක නැති බවයි.

ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ පවසන්නේ අග්‍රාමාත්‍යවරයා දුන් එම පොරොන්දුව මත සියළු වර්ජන උද්ඝෝෂණ හමාර කොට විශ්ව විද්‍යාලය යළි විවෘත කළ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර