දේශපාලන පළිගැනීම්: "තවමත් සාධාරණය ඉටු වී නැහැ"

  • 2016 දෙසැම්බර් 25
දේශපාලන පළිගැනීම්: "තවමත් සාධාරණය ඉටු වී නැහැ" Image copyright Getty Images
Image caption එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආයතන හරහා ලැබුණු පැමිණිලි ද ඒ අතර තිබෙන බව දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ එක්සත් පෙරමුණ පවසයි

පැවති විවිධ ආණ්ඩු යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ තිස් දහසකට අධික පිරිසකට සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇතත් මෙතෙක් කිසිවකුටත් සාධාරණයක් ඉටු වී නොමැති බව දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ එක්සත් පෙරමුණ පවසයි.

වත්මන් රජය බලයට පත්වීමත් සමග දේශපාලන පළිගනීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග කිරීම සඳහා අදාළ අමාත්‍යංශ තුළ විශේෂ විමර්ශන කමිටු ස්ථාපිත කෙරිණි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආයතන හරහා ලැබුණු පැමිණිලි ද ඒ අතර වූ බව දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ එක්සත් පෙරමුණ සඳහන් කළේය.

එම කමිටු විසින් ලබා දුන් නිගමන සලකා බලා දේශපාලන පළිගැනීම්වලට ලක් වූ තිස් දහසකට අධික පිරිසක් නැවත සේවයේ පිහිටුවීමට සහ වරප්‍රසාද හා වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩල තීන්දුවක් ලබා දෙනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක හේමචන්ද්‍ර උඩුමුල්ල බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

"අදාළ සේවකයන් වෙත සහන සලසන මෙන් 2016 වසරේ මාර්තු මාසයේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙත දැනුම් දී ඇතත් මේ වන විට මාස ගණනාවක් ගත වී තිබෙනවා" ඔහු සඳහන් කළේය.

අවශ්‍ය සහන සැලසීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට අවධානය යොමු කරන ලෙස දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ එක්සත් පෙරමුණ ලිපියක් යවමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්