"යුද සමයේ උතුරෙන් ගිය ගුරුවරු දහසක් ආපසු පැමිණ නැහැ"

  • 2016 දෙසැම්බර් 31
ගුරු හිඟය Image copyright Getty Images

යුද සමයේ උතුරු පළාතෙන් වෙනත් පළාත්වලට තාවකාලිකව අනුයුක්ත කෙරුණු ගුරුවරුන් 952 දෙදෙනෙකු නැවත එම පළාතට කැඳවීමට කටයුතු නොකිරීම හේතුවෙන් එහි විශාල ගුරු හිඟයක් පවතින බව කලාප අධ්‍යාපන බලධාරීහු පවසති.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව උතුරු පළාත හැර වෙනත් පළාත් වෙත ගොස් ඇති ගුරුවරුන්ගෙන් වැඩිම පිරිසක් අයත් වන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයටයි. එම සංඛ්‍යාව 364 කි.

යාපනයෙන් ගුරුවරුන් 211ක් ද, මන්නාරමෙන් 222 දෙදෙනෙක් ද, වවුනියාවෙන් 101 ක් දෙනෙක් ද, මුලතිව් ප්‍රදේශයෙන් ගුරුවරුන් 52 දෙදෙනෙක් ද යුද සමයේදී තාවකාලික අනුයුක්ත පදනම මත ස්ථාන මාරුවීම් ලැබ ගොස් ඇති බව උතුරු පළාත් අධ්‍යාපන බලධාරීහු පවසති.

යුද්ධය අවසන්වී වසර හතක් ගත වී ඇතත් එම ගුරුවරුන් ආපසු උතුරු පළාතේ සේවයට කැඳවීමට ක්‍රියා නොකිරීම හේතුවෙන් ඔවුන් තවමත් වෙනත් පළාත්වල සේවය කරන බව ඒ පිළිබඳ කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් බීබීසී සිංහල සේවයට පැවසීය.

'දේශපාලන මැදිහත්වීම්'

ඒ හේතුවෙන් උද්ගත වී ඇති ගුරු හිඟය හමුවේ යුද කලාපවල වසර පහකටත් වඩා වැඩි කාලයක් සේවය කරමින් සිටින ගුරුවරුන්ට වෙනත් පළාත්වලට ස්ථාන මාරුවීම් ලබාගැනීම ද ගැටලුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම උතුරු පළාත් සභාවේ බලධාරීන් සමග සාකච්ඡා කළත් දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ඒ සඳහා නිසි විසඳුමක් නොලැබෙන බව ඔහු පැවසීය.

උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය එස් කුරුකුලරාජා ගෙන් ඒ පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේ අදාළ සංඛ්‍යා ලේඛන තමන් සතුව නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර