'මනුස්සකම'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"චීන ජාතිකයන් දස ලක්‍ෂයේ කතාව බොරුවක්"

චීන ජාතිකයන් දස ලක්ෂයක් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා බලපත් ඉල්ලුම් කර ඇති බවට ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක කළ ප්‍රකාශය වැරදි බව රජයේ ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහ ප්‍රකාශ කර තිබුණේ හම්බන්තොට අරම්භ කිරීමට නියමිත චීන ව්‍යාපෘතිවලට අදාලව මෙම වීසා ඉල්ලුම්පත්‍ර ලැබී ඇති බවය.

එවැනි කිසිම ඉල්ලීමක් රජය වෙත ලැබී නොමැති බවත් හම්බන්තොට ව්‍යාපෘති වෙනුවෙන් පවතින ගිවිසුම්වල එවැනි කොන්දේසියක් නොමැති බවත් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

ඔහු මේබව කියා සිටියේ අද (ජන. 04) කොළඹදී පැවති, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

'මනුස්සකම'

රජයේ පාර්ශවකරුවන් සහ අමාත්‍යවරුන් මෙම ව්‍යාපෘති පිළිබඳව පරස්පර ප්‍රකාශ කරන්නේ මන්දැයි බීබීසීය විමසූවිට අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ 'මනුස්සකම' සහ එවන් ප්‍රකාශවලට දක්වන 'ප්‍රතික්‍රියාවේ දුර්වලකම' ප්‍රයෝජනයට ගෙන ඇතැමුන් එවැනි ප්‍රකාශ සිදුකරන බවය.

කුමන විරෝධතා පැමිණියත් හම්බන්තොට වරාය චීන සමාගකමට පැවරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එය 'ජාතික කර්තව්‍යයක්' බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා පැවසීය.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලබන 7 වැනිදා මුල්ගල් තබන බව ඔහු ප්‍රකාශ කළේය.

බොදු බල සේනා

බොදු බල සේනාවට තමා සම්බන්ධ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැගූ චෝදනාව ගැන අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ 'එය සියවසේ ලොකුම විහිළුව' බවය.

හිටපු ජනාධිපතිවරයා විසින් එම චෝදනාව කරන ලද්දේ පසුගියදා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවේදී ය.

එම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කළේ බොදු බල සේනාව පිටුපස සිටියේ ගෝඨාභය රාජපක්ෂ බවය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ආරක්‍ෂක ලේකම්වරයාට බියෙන් කටයුතු කළ බව ඔහු පැවසීය.