"ඉන්දීය ධීවරයන් උතුරට පැමිණීම නතර කරනවා"

Image caption විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක්ද නිරීක්ෂණයට

ඉන්දීය ධීවරයින් අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ නීති විරෝධී ලෙස මසුන් මැරීම නතර කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට ඉන්දීය විදේශ ලේකම් සංජෙයි බණ්ඩෙයි පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (ජනවාරි 04) යාපනයේ කළ සංචාරයක් අතරතුරේදී ය.

එහිදී උතුරේ දේශපාලනඥයින්, පරිපාලන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් හමුවූ අතර ඉන්දීය ආධාර මත උතුරේ සිදු කෙරෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක්ද නිරීක්ෂණයට ලක් කළේය.

යාපනයෙන් පිටව යාමට පෙර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ලේකම්වරයා කියා සිටියේ ඉන්දීය ධීවරයින්ට ගැඹුරු මුහුදේ මසුන් මැරීම පිළිබදව විශේෂ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන බවයි.

පුහුණුවෙන් පසුව ධීවරයින්ට අවශ්‍ය තාක්ෂණික උපකරණ හා සෙසු ආම්පන්න මිලදී ගැනීම සඳහා ධීවරයින්ට මුදල් ආධාර සපයා දීමට වැඩ පිළිවෙලක් දියත් කරගෙන යන බවද ලේකම්වරයා පැවසීය.

Image caption ඉන්දීය විදේශ ලේකම් සංජෙයි බණ්ඩෙයි

එම වැඩ පිළිවෙල සාර්ථක වීමෙන් පසුව ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවට නොපැමිණෙන බව තමන්ට විශ්වාස බවද ලේකම්වරයා කියා සිටියේය.

කච්චතීවු දූපත සම්බන්ධයෙන් මින් ඉදිරියට කිසිදු ප්‍රශ්නයක් උද්ගත නොවන බව කියා සිටි ලේකම්වරයා අනාදිමත් කාලයක සිට දෙරටේම බැතිමතුන් එම දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිදු කළ වාර්ෂික මංගල්ලය මින් ඉදිරියටත් ඒ අන්දමටම සිදුකෙරෙන බවද සදහන් කළේය.

Image caption ඉන්දීය ධීවරයෝ බෝට්ටු සහ ට්‍රෝලර් යාත්‍රා මගින් ධීවරයෝ ශ්‍රී ලංකා මුහුදුතීරයට ඇතුල්වෙති

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු රුපියල් බිලියන 12ක වියදමකින් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදි කරණ බවත්, යුද්ධයේදී විපතට පත් පුද්ගලයින්ට ඉන්දීය රජය තවත් ආධාර සපයා දෙන බවත් ඉන්දිය විදේශ ලේකම්වරයා යාපනයේදී පැවසීය.