"බය නැතුව රට ගිහින් එන්න, මම පස්සෙන් ඉඳල පිහියෙන් අනින්නේ නැහැ"

Image caption "අගමැතිතුමාට බය නැතුව රට ගිහිල්ල එන්න පුළුවන්"

අගමැතිවරයා රටින් පිටවී සිටියදී වත්මන් ආණ්ඩුව පෙරළා නොදමන බව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ පවසයි.

2017 වසරේදී රජය පෙරළා දමන බවට හිටපු ජනපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා කියා තිබුණේ තමා නොබෝ දිනකින් විදේශ සංචාරයක නියැලෙන අතරතුර අවශ්‍යනම් ආණ්ඩුව පෙරළා දැමිය හැකි බවය.

මේ පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සිටින මොහොතක ආණ්ඩු පෙරළිය සිදුවනු ඇති බවය.

කාල සීමාව

"මම පස්සෙන් ඉඳන් පිහියෙන් අනින්නේ නැහැ. අගමැතිතුමාට බය නැතුව රට ගිහිල්ල එන්න පුළුවන්. අපි එහෙම පිටිපස්සෙන් පිහියෙන් අනින්නේ නැහැ. එතුමාට ගිහිල්ල එන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ. එතුමා ඉන්න කාලෙදිම තමයි පෙරළිය ඇතිවෙන්නේ." යනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ පැවසීය.

ආණ්ඩු පෙරළිය සිදුවන කාල සීමාව පිළිබඳව කිසිවක් හෙළිදරව් කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

"කාල සීමාවන් ගැන කියන්නේ නැහැනේ. ඒ ගැන අපි කියන්නේ නැහැනේ. ඒවා ඔක්කොම කියල, කාඩ් ටික ඔක්කොම එළියට දාන්න බැහැනේ." යනුවෙන් ඔහු පැවසීය.