වරායේ ණය ගෙවන හැටි මුදල් ඇමති පහදයි

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
වරායේ ණය ගෙවන හැටි මුදල් ඇමති පහදයි

හම්බන්තොට වරාය සඳහා ගෙවිය යුතු ණය මුදල බද්දක් ලෙස ජනතාව මත පැටවීමකින් තොරව එම ණය මුදල ව්‍යාපාරික කොටස් ලෙස හුවමාරු කිරීමට රජය කටයුතු කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඔහු මේබව කියා සිටියේ අද (ජන. 05) කොළඹ මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

2018 වසරේ පමණක් හම්බන්තොට වරාය පවත්වාගෙන යාමට සහ ණය වාරිකය ගෙවීම සඳහා රුපියල් මිලියන 10,656ක් වැයවන බව පෙන්වාදුන් මුදල් අමාත්‍යවරයා, එම මුදල ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට වැයකරන මුදලෙන් 15% පමණ වන බව පැවසීය.

'චීනයට'?

මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම කියා සිටියේ හම්බන්තොට වරාය 'චීනයට' බදු දෙන බව පැවසීම නිවැරදි නොවන බවය.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරනු ලබන සමාගමකට වරාය බදු දෙන අතර එම සමාගමේ කොටස් අයිතියෙන් 80%ක් චීන සමාගමකටත් ඉතිරිය වරාය අධිකාරියට අයත් බව ඔහු පැවසීය.

"ජනපතිගෙන් විරෝධයක් නැහැ"

චීන සමාගම සමඟ එළඹෙන ගිවිසුම තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන බව පැවසූ අමාත්‍ය මලික් සමරවික්‍රම, ඉදිරි දින 14 ඇතුළත එකඟතාවක් ඇති කර ගත හැකි බව ප්‍රකාශ කළේය.

මෙම ගිවිසුමට ජනාධිපතිවරයාගේ කිසිදු විරෝධයක් නොමැති බවත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා එය ඉදිරිපත්කරන බවත් ඔහු කියා සිටියේය.

ඔහු තවදුරටත් කියා සිටියේ ලබන 7 වැනිදා හම්බන්තොට සිදුවන්නේ වරායේ ගිවිසුම අත්සන් කිරීම නොව රුහුණු සංවර්ධන කලාපයේ සමාරම්භක උත්සවය බවය.