හම්බන්තොටට චීනෙන් කෝටි පන්සීයක් - රනිල්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හම්බන්තොටට චීනයෙන් කෝටි පන්සීයක් - රනිල්

  • 2017 ජනවාරි 7

හම්බන්තොට චීන ආයෝජන කලාපය ශ්‍රී ලංකා ආර්ථිකයේ 'යෝධ සංවර්ධන සංග්‍රාමයක්' දියත් කිරීමක් වනබව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ අද (07) හම්බන්තොට චීන ආයෝජන කලාපයට මුලපුරමින් අදහස් දක්වමිනි.

හම්බන්තොට කර්මාන්තපුරයක් කිරීමේ පළමු එකඟතාව 2014 වසරේ ඇතිකර ගන්නා ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපතිවරයා අතර ගිවිසුමක් මගින් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ සිහිපත් කළේය.

ශ්‍රී ලංකාව තුළ ඩොලර් කෝටි පන්සීයක ආයෝජනයක් සිදුකිරීමට චීනය සූදානම් බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ 'හොඳ වෘත්තීය පුහුණු ජාලයක් රටට අවශ්‍ය කරන' බවත් සඳහන් කළේය.

'මෙය ආරම්භය විතරයි. අපේ ඉලක්කය වී තිබෙන්නේ නිරිතදිග තීරුව කියල ආර්ථික තීරුවක් ඇති කරන්නයි ' අගමැතිවරයා පවසයි.

'අලුත් ශ්‍රී ලංකාවක්'

'බලගතු ශ්‍රී ලංකාවක්, අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම කාටවත් නවත්වන්න බෑ. ශක්තිමත් ස්ථීර අනාගතයක් අපි මෙතැනින් ආරම්භ කරනවා. තිරසාර යුගයේ තුන්වන වසර ආරම්භ වන අවස්ථාවේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙන යෝධ සංවර්ධන සංග්‍රාමය අපි හම්බන්තොටින් පටන් ගන්නවා,' අගමැතිවරයා කියා සිටියේය.

හම්බන්තොට වරාය ආයෝජන කලාපය සඳහා මහජන ඉඩම් හෝ පුදබිම් ලබා නොගන්නා බව සඳහන් කළ අගමැති වික්‍රමසිංහ, රුහුණු ආර්ථික කලාපයට අක්කර 1235ක් වෙන්කර ඇති අතර කිසිවකුට හානියක් සිදු නොවන පරිදි අවශ්‍ය ඉඩම් ලබාගැනීමේ කාර්යය හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ දක්ෂිණ ලංකා අධිකාරිය භාර ඇමති සාගල රත්නායකට පවරා ඇති බවත් සඳහන් කළේය.

'රුහුණු ආර්ථික කලාපයට අක්කර 1235ක් වෙන්කර තිබෙනවා, කාටවත් හානියක් නොවන විදියට. ඇඹිලිපිටිය හොයාගෙන යනවා. සියයට 95%ක් රජයේ ඉඩම්. පන්සල් ගන්නේත් නෑ. පුරවිද්‍යා ස්ථාන ගන්නෙත් නෑ.ෂෙන් ෂෙන් කියන්නේ වර්ග කිලෝමීටර් 2000ක ව්‍යාපෘතියක්. මොණරාගල කියන්නේ වර්ග කිලෝමීටර 7000ක්' අගමැතිවරයා පවසයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා හම්බන්තොට ආයෝජන කලාපය චීනයේ 'ෂෙන් ෂෙන්' ආර්ථික ආයෝජන කලාපයට සමාන වූවක් වන බවයි පෙන්වා දුන්නේ.

ගාල්ලේ නාවික හමුදා කඳවුර හම්බන්තොට ගෙනෙන බවත් ඔහු සිය කතාවේ දී සඳහන් කළේය.