ලසන්ත
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"මේ ආණ්ඩුව බලයට ආවේ ලසන්ත, ප්‍රගීත්, රවිරාජ් නම් විකුණලා"

අතුරුදහන් සහ ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන්ගේ නම් විකුණා වත්මන් ආණ්ඩුව බලයට පැමිණි බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

මහාචාර්යවරයා ඒ බව කියා සිටියේ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට අට වසරක් ගත වීම නිමිත්තෙන් ඔහුගේ දේහය තැන්පත් කොට ඇති බොරැල්ල සුසාන භූමියේ පැවති ගුණසමරු උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

මාධ්‍යවේදීන් අතුරුදහන් කරවීම් සහ ඝාතනය කිරීම් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාග සඳහා යම්කිසි අදෘශ්‍යමාන බලවේගයක බලපෑමක් ඇතැයි යන්න බැහැර කර නොහැකි කාරණාවක් බවත් මහාචාර්ය සරත් විජේසූරිය සඳහන් කළේය.

අතුරුදහන් වූ සිය සැමියා අනුස්මරණය කිරීමට ඇති අයිතියත් තමන්ට අහිමි වී ඇති බව එම අවස්ථාවට එක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසුවාය.

පසුගිය පාලන සමයේ ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන බවක් පෙනෙන්නට නැති බව කී ඇය "ලසන්තව සිහි කරන්න, ඉටි පන්දමක් පත්තු කරන්න, මලක් තියන්න තැනක් තියෙනවා. ප්‍රගීත් වෙනුවෙන් ඒ මල, ඉටි පන්දම තියන්නේ කොහෙද කියල මම දන්නේ නැහැ," යැයි සඳහන් කළාය.

මංගල සමරවීර, මනෝ ගනේෂන්, රවි කරුණානායක සහ එරාන් වික්‍රමරත්න අමාත්‍යවරුන්, මාධ්‍යවේදීන් සහ ක්‍රියාධරයන් ඇතුළු පිරිසක් අනුස්මරණ උත්සවයට එක් වී සිටියහ.