නිල ඇඳුම
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"පිරිත් අහන්න ටයි කෝට් මොකටද?"

රජයේ ඉහළ නිලධාරීන් අනිවාර්යයෙන්ම ටයි කෝට්වලින් සැරසිය යුතු බවට හිටපු ජනාධිපතිවරයකු පණවා තිබෙන චක්‍රලේඛය ඉවත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක් වූ ජනාධිපතිවරයා, මින් පසුව රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර ටයි පටිය හා කබාය සහිත ඇඳුම ඇඳීම අනිවාර්ය නොවන බව සඳහන් කළේය.

"ඉන්දියාවේ අමාත්‍යාංශ ලේකම්වරු, කොමසාරිස් ජනරාල්ලා කෝට් එක දාන්නෙත් නැහැ. ටයි එක දාන්නෙත් නැහැ. අවශ්‍ය නම් අවශ්‍ය තැන දානවා," ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා: "ගිය අවුරුද්දේ පොළොන්නරුවේ වාර්ෂික පිරිත් පිංකමට මම ගියා. දෙසැම්බර් 31. මම යනකොට රෑ 11 ට විතර ඇති. අපේ ප්‍රාදේශීය ලේකම්තුමා පිරිත් අහනවා රෑ 11ට විතර ටයි එකක් දාගෙන. මම ඇහුවා පිරිත් නේද ටයි එක ඕනෙද කියලා. මම හිතන්නේ පිරිත් ඇහුවත් එතුමාටත් මේ චක්‍රලේඛය වෙන්න ඇති බලපාන්න ඇත්තේ," යනුවෙන්ද සඳහන් කළේය.

කිසියම් රටක නිලධාරීන් ඇතුළු සියලු දෙනා පළඳින ආකාරය සකස්විය යුත්තේ ඒ රටේ පාරිසරික හා කාලගුණ තත්වයට අනුකූලව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දුන්නේය.

අත්‍යවශ්‍ය අවස්ථාවක පමණක් ටයි කෝට්වලින් සැරසීමේ වරදක් නැතත්, පාරිසරික හා කාලගුණ තත්වය සලකා බලා සුදුසු ඇඳුමකින් සැරසීම යෝග්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රාජ්‍ය නිලධාරීන් අමතමින් වැඩිදුරටත් පැවසීය.