හම්බන්තොට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හම්බන්තොට කර්මාන්ත ගැන සතුටුයි - චමල්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව කර්මාන්ත ඉදිකිරීම පිළිබඳව සතුටුවන නමුත් එය සිදු විය යුත්තේ කිසිවකුටත් හානියක් නොවන ආකාරයට බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

හම්බන්තොට ඉදිකෙරෙන කර්මාන්ත පුරය සහ සෙනසුරාදා හටගත් ගැටුම පිළිබඳව උණුසුම් වාද විවාද මධ්‍යයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, සිකුරාදා රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංඝයා වහන්සේ මුණ ගැසී කරුණු පැහැදිලි කිරීම පිළිබඳව ස්තුතිවන්තවන බවත් සඳහන් කළේය.

"ඒ පැහැදිලි කරීම නිසා උද්ගත වෙන්න තිබුන භයානක තත්වයක් නිවුණා නමුත් සැකය දුරු වුනේ නෑ," චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් සෙනසුරාදා පැවති උද්ඝෝෂණයේදී සංඝයා වහන්සේට පහරදීම ගැටළුවක් බවත් ඔහු සඳහන් කළේය.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය කඩාකප්පල් කිරීම පිණිස 'සැලසුම් සහගත' ක්‍රියාවලියක් දියත්ව තිබුන බව එයට පිළිතුරු දෙමින් කබීර් හෂීම් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ, අදාළ ව්‍යාපෘතිය හම්බන්තොටට අනවශ්‍ය නම් පොළොන්නරුවට ලබා දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළ අතර, ව්‍යාපෘතිය සිය දිස්ත්‍රික්කවලට ලබා දෙන මෙන් වෙනත් ඇමතිවරුන්ද ඉල්ලීම් කරන බවත් පැවසීය.

වරාය සහ ගුවන්තොටුපොළ ඇතුළු ව්‍යාපෘති වෙනුවෙන් දැනට පවරාගෙන තිබෙන ඉඩම්වල නව කර්මාන්ත ඉදි කර, අනෙක් කර්මාන්ත වෙනත් දිස්ත්‍රික්කවලට ලබාදීම පිළිබඳව තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි එයට ප්‍රතිචාර වශයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ.

හම්බන්තොට කර්මාන්ත පුරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට එතරම් විරුද්ධ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු දූත පිරිස චීනයට ගොස් චයිනා මර්චන්ට් සමාගම සමග සාකච්ඡා කළේ කුමක් දැයි හෙළිකරන මෙන් අගමැතිවරයා අභියෝගයක්ද කළේය.