'ජූරි සභාව නීති විරෝධීයි': රවිරාජ් ගේ බිරිඳගෙන් අභියාචනයක්

ක්‍රියාධරයන් උද්ඝෝෂණයේ Image copyright Sunanda Deshapriya/Twitter

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ අභියාචනයක් ඉදිරිපත් කළේය.

විශේෂයෙන්ම නඩු විභාගය ජූරි සභාවක් ඉදිරියේ විභාග කිරීමට මහාධිකරණ විනිසුරුවරයා ගත් තීන්දුව නීතියට පටහැනි බව පෙන්වාදෙමින් අභියාචනය ඉදිරිපත් කළ බව හිටපු මන්ත්‍රීවරයාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී මොහාන් බාලෙන්ද්‍රා බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.

සැකකරුවන් පිරිසට එරෙහිව නඩු පවරා තිබුණේ ත්‍රස්ත විරෝධී පනත යටතේ බව පෙන්වාදෙන නීතිවේදියා, ත්‍රස්ත විරෝධී නීතිය ප්‍රකාර ජූරි සභාවක් යටතේ නඩුවක් විභාග කිරීමට නීතිමය අවකාශයක් නොමැති බවත් සඳහන් කළේය.

ජූරි සභාවක් යටතේ නඩුව විභාග කරන මෙන් විත්ති පාර්ශවය කළ ඉල්ලීමට රවිරාජ් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් විරෝධය පළ කළ නමුත් මහාධිකරණ විනිසුරුවරයා පසුගිය වසරේ ඔක්තෝබර් 27 වැනි දින එම විරෝධය ඉවත දැමූ බවත් නීතිඥ මොහාන් බාලෙන්ද්‍රා සංදේශයට පැවසීය.

නොවැම්බර් 22 වැනි දින සිට සිංහල කතාකරන ජූරි සභාවක් යටතේ නඩුව දිගටම විභාග කෙරුණු අතර, ඝාතන චෝදනාවට විත්තිකරුවන් නිර්දෝෂී බව පසුගිය දෙසැම්බර් 23 වැනි දින මධ්‍යම රාත්‍රියේ ජූරි සභාව තීන්දු කළේය.

ඉන් අනතුරුව ඔවුන් නිදොස් කොට නිදහස් කරන මෙන් කොළඹ මහාධිකරණය නියෝග කළේය.

නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයෝ තිදෙනෙක් ද වෙති.

රවිරාජ් හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී එම්ඒ සුමන්දිරන් සහ රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් අමාත්‍යවරුන් සහ මානව හිමිකම් ක්‍රියාධරයෝද එම තීන්දුව දැඩි දෝෂදර්ශනයට ලක් කළහ.