හම්බන්තොට වරාය ව්‍යාපෘතියට විරුද්ධයි - මහින්ද

මහින්ද රාජපක්ෂ

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ඩොලර් මිලියන 1,080 ක මුදලකට චයිනා මර්චන්ට් සමාගමට 99 අවුරුදු බදු දීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගිවිසුමකට එළැඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

එම ගිවිසුම ප්‍රකාර ව්‍යාපෘතියේ අයිතිය චීන සමාගම සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අතර 80% - 20% වශයෙන් බෙදී යන බවත් හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

"මුල් අවුරුදු 15 දී මූලික ගෙවීම හැරුණු විට කිසිම ආදායමක් ලංකාවට නොලැබෙන අතර ඉන් පසුව ආණ්ඩුවට අයත් 20% සඳහා ලාභාංශ ප්‍රකාශ කළහොත් පමණක් ආදායමක් ලැබෙනු ඇත," යනුවෙන්ද නිවේදනයේ දැක්වේ.

තමන්ට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට ආණ්ඩුව මෙවැනි ගිවිසුමකට එළැඹි තිබෙන්නේ චයිනා හාබර් සමාගම 'මෙයට වඩා බෙහෙවින්ම වාසිදායක' ලංසුවක් ඉදිරිපත් කර තිබෙන අතරවාරයේ බවටත් හිටපු ජනාධිපතිවරයා චෝදනාවක් එල්ල කරයි.

අදාළ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයටද බලපෑම් ඇතිවන බැවින් මුළු වරායම හෝ ඉන් කොටසක් අවුරුදු 99 ක් වැනි දීර්ඝ කාලයක් සඳහා බදු දීමට තමන් ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ බවත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තවදුරටත් දීර්ඝ වශයෙන් අදහස් දක්වන හිටපු ජනාධිපතිවරයා, හම්බන්තොට වරාය පරිශ්‍රය පමණක් නොව ඉන් පිටත තවත් අක්කර 15,000 ක් ද විදේශීය සමාගමකට 99 අවුරුදු බද්දක් යටතේ ලබාදීමට ආණ්ඩුව එකඟ වී තිබෙන බවත් සඳහන් කරයි.

"මේ ගණුදෙනුවෙන් ලංකාවට සිදුවෙන ආර්ථික වාසිය හෝ අවාසිය ගැනත්, වරාය පරිශ්‍රෙයේ පාලනයත්, රටේ ස්වාධිපත්‍යත්, පරිසරයට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙනුත් සැලකිල්ලට ගත යුතු ගැටළු ඇත,"යනුවෙන්ද නිවේදනයේ සඳහන්වේ.

කෙසේ නමුත් දකුණු පලාතෙන් අක්කර 15,000 ක් ලබාදීමේ කිසිදු ගිවිසුමකට මෙතෙක් අත්සන් තබා නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේ මහනුවරදී රැස්වීමක් අමතමින් සඳහන් කළේය.

විදේශ ආයෝජන සහ කර්මාන්ත රටට අවශ්‍ය නමුත්, ශ්‍රී ලංකාවේ භුමියේ අයිතිය වෙනත් කිසිදු රටකට අයත්වීමට ඉඩ ලැබෙන ආකාරයට ඒ සඳහා ඉඩම් ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අදාළ ව්‍යාපෘතිය සඳහා හම්බන්තොට ප්‍රදේශයෙන් පවරාගනු ලබන්නේ අක්කර 1235 ක් පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සිකුරාදා රාත්‍රියේ හම්බන්තොටදී සංඝයා වහන්සේ අමතමින් සඳහන් කළේය.

මේ අතර සඳුදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ හිටපු කතානායක චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව කර්මාන්ත ඉදිකිරීම පිළිබඳව සතුටුවන නමුත් එය සිදු විය යුත්තේ කිසිවකුටත් හානියක් නොවන ආකාරයට බව සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර