විධායක ජනාධිපති ධුරය සහ ශ්‍රීලනිපය: "එහෙම තීන්දුවක් නැහැ"

චන්ද්‍රිකා කුමාරතුංග Image copyright ISHARA S.KODIKARA
Image caption "නැහැ, සමහරු ඒ ගැන කතා කරනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මමත්, එහෙම තීන්දුවක් අරන් නැහැ."

විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගෙන නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසන්නීය.

ඇය ඒ බව කියා සිටියේ අද (ජන.10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

"නැහැ, සමහරු ඒ ගැන කතා කරනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මමත්, එහෙම තීන්දුවක් අරන් නැහැ." හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

සිය ධුර කාලය ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයේදීත් ඉන් අනතුරුවත් ප්‍රතිඥා දුන් බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

විධායක ජනාධිපති ධුරය එලෙසම පවත්වාගෙන යාමටත් 2020 වසරේ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඉදිරිපත් වියයුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව අමාත්‍ය සරත් අමුණුගම පසුගියදා කියා සිටියේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුව කඩ කරමින් ඔහු නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යායුතු බවට ගනුලැබූ තීරණය පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය අප්‍රසාදය පළ කළේය.

කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිසිත් ප්‍රකාශ කර නොමැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර