ඇමති තොරතුරු විකෘති කළාද?

  • 2017 ජනවාරි 10
ඇමති තොරතුරු විකෘති කළාද?

යෝජිත නව මැතිවරණ ක්‍රමයට මීළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පක්‍ෂ නායකයන් සියලු දෙනාම එකඟ වී ඇති බවට පළවී ඇති වාර්තා සාවද්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

සඳුදා (ජන. 09) පැවති පක්‍ෂ නායක රැස්වීම පිළිබඳ තොරතුරු පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ උවමනාව මත විකෘති කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා චෝදනා කරයි.

"යම් දේශපාලන ව්‍යාපාරයක් සියයට හතළිහක් ලබා ගත්තත් ඔවුන්ට සමහරවිය සියයට හැත්තෑපහක නියෝජනයක් පළාත් පාලන ආයතන තුළ ලැබෙනවා. සියයට හැටක් ලබාගන්නා දේශපාලන ව්‍යාපාරයකට පළාත් පාලන ආයතනය තුළ ලැබෙන්නේ සියයට විසිපහක නියෝජනයක්." යනුවෙන් ඔහු බීබීසීයට පැවසීය.

'විකෘතිභාවය'

එබැවින් මෙම නව මැතිවරණ ක්‍රමයේ ඇති 'විකෘතිභාවය' ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ කීපයක්ම පෙන්වා දුන් බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ එල්ලකළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා බීබීසී සංදේශයට කියා සිටියේ තමා අදාළ රැස්වීම පිළිබඳව කිසිදු තොරතුරක් විකෘතිකර නොමැති බවය.

යෝජිත නව මැතිවරණ ක්‍රමයට මීළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවට ඇමතිවරයා අවධාරණය කළේය.

එම මැතිවරණ ක්‍රමය මගින් යළිත් වතාවක් රට තුළ ද්විපක්ෂ දේශපාලනයක් ස්ථාපනය වන බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.