GSP+ සහනය නැවත දීමට යුරෝපා කොමිසම යෝජනා කරයි

  • 2017 ජනවාරි 11
Image copyright AFP

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන බදුවලින් සැළකිය යුතු ප්‍රමාණයක් ඉවත් කිරීමට යුරෝපා කොමිසම තීරණයකර තිබේ.

යුරෝපා කොමිසම මෙම යෝජනාව කරනුයේ යුරෝපා සංගමය විසින් පිරිනමනු ලබන GSP+ සහනය යටතේය.

මෙම පියවර යටතේ බදු වර්ගීකරණවලට අදාළ 66%ක ප්‍රමාණයක් සම්පුර්ණයෙන් ඉවත් කෙරෙන අතර ඒ අනුව රෙදිපිළි, මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වර්ග රැසක් සඳහා වූ ආනයන බදු ඉවත් කෙරේ.

කෙසේවුවද මෙම සහනය යළි ලබා දීමෙන් අනතුරුව ද තිරසර සංවර්ධනය, මානව හිමිකම් මෙන්ම යහපාලනය කෙරෙහි වූ ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කෙරෙනු ඇති බව යුරෝපා කොමිසම පවසයි.

GSP+ සහනය හරහා යුරෝපා සංගමයේ වෙළෙඳපොල වෙත යැවෙන සිය අපනයන ඉහළ නංවාගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැළකිය යුතු දායකත්වයක් සැපයෙන අතරම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය මෙන්ම යහපාලනයට අදාළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තමන්ට සහය විය හැකි ආකාරය ද මෙයින් පෙන්නුම් කෙරෙන බව යුරෝපා කොමිසමේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මැල්ම්ස්ට්‍රොම් පවසන්නීය.

එම ක්ෂේත්‍රයන්හි ප්‍රගතියක් දැකිය හැකි යයි තමන් විශ්වාස කරන අතරම GSP+ පිළිබඳ සංවාද හා නිරීක්ෂණ අදාළ ප්‍රතිසංස්කරණවලට සහය වනු ඇතැයි ද ඇය කියා සිටී. එසේම ඇය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිවලට සම්පුර්ණයෙන් අනුකූල විය යුතු බව ද මීට ඇතුළත්වන බවය.

කෙසේවුවද මෙම පියවර ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ප්‍රතිවිරෝධතා වේ නම් ඉදිරිපත් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවට හා යුරෝපා කොමිසමට මාස හතරක් දක්වා වූ කාලයක් ඇත.