"මියගිය රෝගීන් තිදෙනාගෙන් දෙදෙනෙකුට AH1N1"

Image copyright Thinkstock
Image caption මියගිය රෝගීන්ගේ පටල පරීක්ෂා කිරීමෙන් අනතුරුව

මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ මිය ගිය රෝගීන් තිදෙනාගෙන් දෙදෙනෙකුට ඉන්ෆ්ලුවන්සා AH1N1 වෛරසය ආසාදනය වී තිබුණු බවට අනාවරණය වෙයි.

මියගිය රෝගීන්ගේ පටල පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේබව තහවුරු වී ඇති බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආර් එම් එෆ් කේ රත්නායක බීබීසී සංදේශයට පැවසුවේය.

ඔහු තවදුරටත් කියා සිටියේ මියගිය අනෙක් රෝගියාගේ පටල පිළිබඳව සිදුකෙරෙන පරීක්‍ෂණ තවමත් අවසන් වී නොමැති බවය.

වාට්ටුව වසා දමයි

මියගිය රෝගීන් තිදෙනා ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුව මේවනවිට වසා දමා ඇති බවද මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා සනාථ කළේය.

වකුගඩු ඒකකයේ සේවය කළ දෙදෙනෙකු ද උණ රෝගය වැළඳීම හේතුවෙන් සේවයට වාර්තා කර නොමැති බවත් ඔවුන් දෙදෙනාට ඉන්ෆ්ලුවන්සා AH1N1 වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බලන බවත් වෛද්‍ය ආර් එම් එෆ් කේ රත්නායක සංදේශයට පැවසීය.

මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී එක් රෝගියෙකු ජනවාරි 9වැනිදාත් තවත් රෝගීන් දෙදෙනෙකු ජනවාරි 10වැනිදාත් මියගිය බව වාර්තා විය.