දින දොළහට ඩෙංගි රෝගීන් 1200ක්

Image caption වැඩිම රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන්

මෙම වසරේ පළමු දින දොළහ ඇතුළත පමණක් ඩෙංගි වැළඳුණු බවට සැකකෙරෙන රෝගීන් එක්දහස් දෙසීයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඩෙංගි මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර බීබීසී සංදේශයට කියා සිටියේ වැඩිම රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවය.

කසල බැහැර කිරීම

සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සහ වෛද්‍යවරුන් කෙතරම් වැඩසටහන් දියත් කළත් කසල බැහැර කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිව ඩෙංගි මර්දනය කළ නොහැකි බවද ඇය පවසන්නීය.

ඩෙංගි වසංගතය මර්දනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියකට අවශ්‍ය නිර්දේශ ඇතුළත් කෙටුම් පතක් ඩෙංගි මර්දන ඒකකයේ තාක්ෂණික කමිටුවක් විසින් සම්පාදනය කරනු ලැබ තිබේ.

එය මේවනවිටත් අමාත්‍යවරයාට භාර දී ඇති බව වෛද්‍ය ප්‍රශිලා සමරවීර සංදේශයට කියා සිටියාය.