'AH 1 N 1 මරණ වලට හේතුව 'කුරුලු උණ නොවෙයි'

Image caption විධිමත් පරීක්ෂණයකින් හා දැඩි නියාමනයකින් පසු රටට සතුන් ආනයනය කරන නිසා කුරුලු උණ මෙරටට පැමිණීමට කිසිදු ඉඩක් නොමැති බවයි බලධාරීන් පවසන්නේ

මහනුවර මහරෝහලේදී 'ඉන්ෆුලුවන්සා H 1 N 1' වෛරස් ආසාදනයෙන් සිදුවූ මරණ වලට හේතුව 'කුරුලු උණ' රෝගය නොවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සත්ත්ව විද්‍යා අංශ ප්‍රධානි වෛද්‍ය හේමාල් කොතලාවල පවසයි.

ඇතැම් මාධ්‍ය මෙය වැරදි ලෙස වාර්තා කිරීමෙන් පසු ජනතාව අතර අනියත බියක් ඇතිවිය හැකි බවත් ශ්‍රී ලංකාව කුරුලු උණ රෝගයෙන් තොර රටක් බවත් කුරුලු උණට හේතුවන වෛරසය H 1 N 1 නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසිය .

ගන්නෝරුවේ පිහිටි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තුමේන්තු කාර්යාලයේදී පැවැති මාධ්‍යය හමුකදී වෛද්‍ය හේමාල් කොතලාවල මේ බව ප්‍රකාශ කළේය.

සත්ත්ව සෞඛ්‍ය අංශයේ පශු වෛද්‍ය නිලධාරී ටිකිරි විජේතිලක මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ කුරුලු උණ නොමැති රටක් බවත් H 1 N 1 ඉන්ෆුලුවන්සා රෝගය මිනිසුන් ගෙන් මිනිසුන්ට බෝවන නමුත් කුරුලු උණ එළෙස මිනිසුන්‍ ගෙන් මිනිසුන්ට බෝනොවන බවය.

ශ්‍රී ලංකාව ලෝක සත්ත්ව විද්‍යා සංවිධානයේ සාමාජික රටක් බවත් එම සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව රටට සතුන් ආනයනය කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සතුන් ආනයනය කිරීමේදී අදාළ රට අවම වශයෙන් මාස හයක් පමණවත් කුරුලු උණෙන් තොර රටක් විය යුතු බව පවසන පශුවෛද්‍ය නිලධාරීවරයා විධිමත් පරීක්ෂණයකින් හා දැඩි නියාමනයකින් පසු රටට සතුන් ආනයනය කරන නිසා කුරුලු උණ මෙරටට පැමිණීමට කිසිදු ඉඩක් නොමැති බව පැවසීය.

කුකුළු මස් හෝ බිත්තර අනුභවයටත් කුකුළු කොටුවල සේවය කිරීමටත් මේනිසා කිසිදු බියක් ඇතිකර ගතයුතු නැතැයිද හෙතෙම අවධාරණය කළේය.

AH1 N1 වෛරසය ආසාදනයවූ තවත් රෝගීන් හත්දෙනෙකු අද වනවිට මහනුවර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව රෝහල් බලධාරීහු පවසති.

එම රෝගීන් හත්දෙනාගෙන් එක් රෝගියෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක බීබීසී සංදේශයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර