පාසැල් වලට අයුතු ලෙස ළමුන් ගැනීම නවත්වනවා - අකිල
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"අක්‍රමිකතාවලට ආදී ශිෂ්‍ය සංගම් සම්බන්ධයි"

නව වසර සඳහා ජනප්‍රිය පාසල්වලට සිසුන් බඳවා ගැනීමේදී සිදුකර ඇතැයි පැවසෙන අක්‍රමිකතාවලට එම පාසල්වල ආදී ශිෂ්‍ය සංගම් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන ආමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

එසේ චෝදනා එල්ලවූ පාසල් විස්සක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන පරීක්ෂණ සම්බන්ධයෙන් බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

" ආදී ශිෂ්‍ය සංගම්වල දැඩි මෙහෙයුමක් තියෙනවා, රැකියාවක් නොකරන සමහර අය වෘත්තියක් ලෙස මේ කටයුතු කරනවා, විදුහල්පතිවරුත් මේකට වගකියන්න ඕන" යයි පවසූ අමාත්‍යවරයා, මේ වන තෙක් අත්හිටුවා තිබු කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වසරට සැබෑ සුදුසුකම් ඇති සිසුන් බඳවාගැනීම දැන් ආරම්භකර ඇති බව කියා සිටියේය.

ඊට අමතරව රාජකීය විද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් නොමැති සිසුන් 31 දෙනෙකු ඉවත්කිරීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.

පාසලකට ඇතුළත්වී අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති ශිෂ්‍යන් ඉවත්කිරීමට කටයුතු නොකරන බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ඒ වෙනුවට එම සිදුවීම වලට් සම්බන්ධ පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව පෙන්වා දුන්නේය.

මෙවර උසස් පෙළ විභාග ප්‍රතිපල අනුව ද ජනප්‍රිය පාසල්වලට වඩා අනිකුත් පාසල් ඉදිරියෙන් සිටින බව පැවසූ අමාතව්‍යරයා ළඟ ම පාසල හොඳ ම පාසල කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් මෙම ගැටලුවට ස්ථිර විසදුමක් ලබාදීම රජයේ අරමුණ බව කියා සිටියේය.