"වාණිජ චිත්‍රපට කඩාවැටිලා"

Image copyright Thinkstock
Image caption "ගැටලුව තියෙන්නේ මේ ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට නොයන එක"

සිංහල සිනමා කර්මාන්තයේ කලාත්මක චිත්‍රපට බිහිවීම පිළිබඳව සෑහීමකට පත්විය හැකි අතර වාණිජ චිත්‍රපටවල 'කඩාවැටීමක්' පවතින බව ප්‍රවීණ චිත්‍රපට විචාරක ගාමිණී වේරගම පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සිංහල කතානාද සිනමාවට වසර හැත්තෑවක් සපිරීම නිමිතිකොටගෙන බීබීසී සංදේශය සමඟ පැවති සාකච්ඡාවකදී ය.

දශක හතකට පසු සිංහල සිනමාව අද පවතින තත්වය පිළිබඳව අදහස් දක්වමින් "අපේ රටේ අදටත් චිත්‍රපට බැලීම අඩුවෙලා නැහැ. ගැටලුව තියෙන්නේ මේ ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට නොයන එක. වීඩියෝ මාර්ගයෙන්, අන්තර්ජාලය සහ රූපවාහිනිය මාර්ගයෙන් මිනිස්සු චිත්‍රපට නරඹනවා." යනුවෙන් ගාමිණී වේරගම පැවසීය.

Image copyright Gamini Weragama/FB
Image caption ප්‍රවීණ චිත්‍රපට විචාරක ගාමිණී වේරගම

"හැටේ දශකයේ හැත්තෑව දශකයේ හැම සිනමා ශාලාවම හොඳ තත්වයේ තිබුණේ නැහැ. හැබැයි ප්‍රේක්ෂකයන්ට විනෝද මාධ්‍යයකට තිබුණේ සිනමාව විතරයි. වත්මන් පරම්පරාව වෙනස්. ඔවුන්ට යහපත් තැනක් වෙන්න ඕන සිනමා ශාලාව. නැත්නම් ඔවුන් සිනමා ශාලාවට එන්නේ නැහැ." යනුවෙන් ඔහු කියා සිටියේය.

සිනමාවට යොමුවී ඇති තරුණ පරම්පරාවට තම චිත්‍රපටය පෙන්වා ගැනීම සඳහා වසර ගණනාවක් බලා සිටින්නට වීම සිනමාවේ අනාගත පැවැත්මට අහිතකර බවද ඔහු අවධාරණය කළේය.

නමුත් ඇතැමුන්ගේ චිත්‍රපට නිමවූ වහාම තිරගත වීමේ 'විෂම චක්‍රය' නිසා ගුණාත්මක චිත්‍රපට නිර්මාණය කරන තරුණයන්ට අසාධාරණයක් සිදුවී ඇති බව ප්‍රවීණ විචාරක ගාමිණී වේරගම පවසයි.

සිංහල සිනමාවේ උපත ගැන අදහස් දක්වමින් "අපේ සිනමාව ඊට වඩා පරණයි. ලංකාවේ හදපු පළමු නිහඬ කෙටි චිත්‍රපටය 1936 දී බිහිවෙන්නේ. එතැනදී තමයි අපේ සිනමාව ආරම්භ වෙන්නේ. ඊට පස්සේ චිත්‍රපට හැදුණේ නැහැ. 1947 දී කඩවුණු පොරොන්දුව කතානාද චිත්‍රපටය ආරම්භ වෙනවා. ඒක තමයි කතානාද චිත්‍රපටයේ ආරම්භය" යනුවෙන් ගාමිණී වේරගම පැවසීය.