"ආණ්ඩුව යළිත් ශිෂ්‍ය දඩයමක"

අගමැතිවරයාගේ පඹයෙක් පුළුස්සන ශිෂ්‍යයෝ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමින් රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විරෝධතාවක නිරතව සිටියහ.

වැල්ලමඩ පීඨයේ සිට ශිෂ්‍ය ශිෂ්‍යාවන් විරෝධතා පාගමනක යෙදීම හේතුවෙන් මාතර-තංගල්ල මාර්ගයේ වාහන ගමනාගමනයද අවහිර වී තිබුණි.

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව 'යළිත් වරක් ශිෂ්‍ය දඩයමක' යෙදී සිටින බවට චෝදනා කරන ශිෂ්‍යයෝ අගමැතිවරයාගේ පඹයෙකුද පුළුස්සා දැමූහ.

ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර යළිත් වරක් අත්අඩංගුවේ පසුවෙයි.

මීට ඉහතදී අත්අඩංගුවට ගැනුණු අවස්ථාවක ඇප නියම කරන විට උද්ඝෝෂණවලට සහභාගී නොවන මෙන් ඔහුට අධිකරණය විසින් කොන්දේසියක් පණවා තිබුණි.