“මුරකුටිවල ලිපිනත් දීලා”

Image caption මුදල් ගනුදෙනු පමණක් නොව, චක්‍රලේඛ උල්ලංඝණය කරමින් වැරදි තොරතුරු සැපයීම සම්බන්ධව ද තොරතුරු ලැබී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ

පාසල්වල පළමු වසරට දරුවන් ඇතුළත් කිරීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලද පැමිණිලිවලට අදාළව තවත් විමර්ශන ක්‍රියාත්මක කළ යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයට ළමුන් බඳවා ගැනීමේ දී සිදුවී ඇති අක්‍රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ නිලධාරීන් පිරිසක් වැඩතහනමට ලක්කිරීම පිළිබඳව බීබීසී කළ විමසීමකදීය.

මුදල් ගනුදෙනු පමණක් නොව, චක්‍රලේඛ උල්ලංඝණය කරමින් වැරදි තොරතුරු සැපයීම සම්බන්ධව ද තොරතුරු ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

" ඉතාම වැරදිසහගත ලෙස තොරතුරු ලබාදීල තිබුණ. විශේෂයෙන්ම මුරකුටි, නැතිනම් තානාපති කාර්යාල, රජයේ ස්ථානවල ලිපිනයන් පවා ලබාදීල ළමුන් ඇතුළත් කරලා තිබුණ. මේව මුදල් අයකරගෙන කරපු බවටත් තොරතුරු ලැබිල තියනව. ඇතැම් අවස්ථාවල ජාවාරම්කරුවන්ගේ දරුවන් පවා මුදල්වලට දාල තියනව " යනුවෙන් පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එවැනි ක්‍රියා වලට විරුද්ධව කටයුතු කිරීම කොතැනකින් හෝ ආරම්භ කළ යුතු බවය.

ආදී ශිෂ්‍ය සංගම් වලට සම්බන්ධ පිරිස් අක්‍රමිකතා පිටුපස සිටින බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද වැඩ තහනමට ලක්වූ පිරිසෙන් වැඩිදෙනා පාසල්වලට සම්බන්ධ නිලධාරීන් නොවේදැයි ප්‍රශ්න කළ විට, ශිෂ්‍ය සංගම්වල ද සම්බන්ධතාවක් තිබෙන නමුත් අදාළ සිදුවීම්වලට වගකිවයුත්තේ රාජ්‍ය නිලධාරීන් බවය අමාත්‍යවරයා පෙන්වා දුනි.

වැරදි තොරතුරු ඉදිරිපත්කළ ග්‍රාමසේවා නිලධාරීන් සම්බන්ධයෙන් ද පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට උපදෙස් දී ඇති ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර