රජයේ වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

  • 2017 පෙබරවාරි 2
Image caption සියලුම වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිදහස් නොකරන්නේනම් මෙයට වඩා දැඩි වෘත්තීයසමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ

වෛද්‍ය සිසුන්ට කරන ලද පහරදීමට සහ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කිරීම සඳහා හෙට උදෑසන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

SAITM ආයතනය නීතිගතකිරීමට විරුද්ධව වෛද්‍ය ශිෂ්‍යයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයට පහරදීම සහ සිසුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි රැස්වීමක් අද රාත්‍රී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ දී පැවැත්විණි.

ඉන් අනතුරුව නිකුත්කළ මාධ්‍ය නිවේදනයට අනුව හෙට( 03) උදෑසන 8.00 සිට මධ්‍යහ්න 12 දක්වා පැය හතරක සංකේතාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටත්, අත්අඩංගුවේ පසුවන සියලුම වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිදහස් කරන ලෙස බල කිරීමටත්, එසේ නිදහස් නොකරන්නේනම් මෙයට වඩා දැඩි වෘත්තීයසමිති ක්‍රියාමාර්ග වලට එළඹීමටත් තීරණය වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විරුද්ධ මත ප්‍රකාශ කිරීම සහ උද්ඝෝෂණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයක් බව පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අහිංසක නිරායුධ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකගේ උද්ඝෝෂණයට පහරදෙනවා වෙනුවට කළයුතුව තිබුණේ ඔවුන්ගේ ගැටලුව විමසා එයට පිළිතුරු සැපයීම බව එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්විණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර