‘2020 දී ලාදුරුවලින් තොර ශ්‍රී ලංකාවක්’

  • 2017 පෙබරවාරි 3
Image caption 'ලාදුරු පරාජය කරමු'

2016 වසරේදී ලාදුරු රෝගීන් එක්දහස් අටසිය පනහක් පමණ වාර්තා වී ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.

දළ වශයෙන් වසරකට ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගීන් දෙදහසක් පමණ වාර්තාවන බව වෛද්‍ය ජයසුන්දර ප්‍රකාශය කළේ '2020 දී ලාදුරුවලින් තොර ශ්‍රී ලංකාවක්' වැඩසටහන දියත් කිරීම නිමිත්තෙන් බීබීසී සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය.

1980 දශකයේ පටන් ලාදුරු රෝගය මැඩලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනගිය වැඩසටහන්හි ප්‍රතිඵලයක් වශයෙන් 'වසරකට ජනගහනයෙන් සෑම ලක්ෂයකට දහනව දෙනකු පමණ වූ ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට දහදෙනකු තරම් අඩු සංඛ්‍යාවකට ගෙන ඒමට හැකි වුණා' යැයි වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පෙන්වා දුණි.

දැනට වසර කීපයක් මුළුල්ලේ එම සංඛ්‍යාව නොවෙනස්ව පවතින බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

Image caption ලාදුරු බිහිසුණුයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය සහ සමාජ මාධ්‍ය මගින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් නිසා රෝගීන්ගේ සංඛ්‍යාව එක්තරා මට්ටමකට අඩුකර ගැනීමට හැකි වුනත් එම සංඛ්‍යාව දිගටම ඒ මට්ටමේ පවතින බව ඔහු පැවසීය.

මේ තත්වය යටතේ ලාදුරු රෝගය මැඩලීම පිළිබඳව තවදුරටත් අවධානය යොමුකළ යුතුව ඇති බව ඔහු අවධාරණය කරයි.