"නිදහසක් නැති නිදහසක්"

  • 2017 පෙබරවාරි 4
"නිදහසක් නැති නිදහසක්" Image copyright ISHARA S. KODIKARA

ආණ්ඩුව විසින් නිදහස් උත්සවය ඉහළින් සමරනු ලැබුනත් 'රට තුළ එවැනි නිදහසක් ක්‍රියාත්මක නොවන' බව වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර සහ බහුජන සංවිධාන කීපයක් පවසති.

රටේ වැඩකරන ජනතාවට සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට නිදහසක් හිමි වී නොමැති බව පවසමින්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර සහ බහුජන සංවිධානවල එකමුතුවෙන් අද (පෙබ 04) කොළඹ විරෝධතා පාගමනක් පැවැත්විණි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් එම විරෝධතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් බීබීසී සිංහල සේවයට කියා සිටියේ රටේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම්වලට තර්ජන එල්ලවී තිබියදී 'පුහු නිදහසක්' සැමරීමේ හැකියාවක් නොමැති බවය.

"ටෙලිකොම් සේවකයන් දවස් හතළිස් එකක් තමන්ගේ ඉල්ලීම් ඉල්ලලා දැවැන්ත අරගලයක් කරනවා. ඒකට කිසිම විසඳුමක් නැතැයි' සඳහන් කළ ජෝසප් ස්ටාලින් එම අරගලයට එරෙහිව ආණ්ඩුව වාරණ නියෝග හයක් ලබා ගෙන ඇති බව සඳහන් කළේය.

"පුහු නිදහසක්"

Image caption සැබෑ නිදහසක් නැතැයි පවසන උතුරේ විරෝධතාකරුවන්

ජනාධිපති මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණ කළ ශිෂ්‍යයින්ට පහර දී ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බවත් ඔහු පැවසීය.

ඇතැම් දේශපාලන සිරකරුවන් නඩු නොමැතිව වසර පහළොවක් වැනි දීර්ඝ කාලයක් සිරගත කරනු ලැබ සිටින බව කී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ඉල්ලීම් දිනා ගැනීම සඳහා උද්ඝෝෂණ කිරීමට ඇති ඉඩකඩ අහිමි කර ඇති බවත් පැවසීය.

'අනෙක් පැත්තෙන් අධ්‍යාපනය විකුණන්න සැලසුම් හදලා ඉවරයි. රටේ දේපොළ විකුණන්න සැලසුම් කරලා තිබෙනවා. එවැනි පරිසරයක් තුළ සංදර්ශනවලින් වැඩක් නැහැ. භාවිත නිදහසක් නැති නම් නිදහස් සංදර්ශන පැවැත්වීමේ තේරුමක් නැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර තමන්ට සැබෑ නිදහසක් හිමි වී නැති බව පවසමින් උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුගේ සහභාගීත්වයෙන් උතුරේ ද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කොට තිබිණි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර