බැඳුම්කර කොමිසම ගැන ඒකාබද්ධ විපක්ෂය

  • 2017 පෙබරවාරි 6
Sri Lanka Central Bank

මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා කොමිසමක් පත්කිරීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ප්‍රමුඛයෝ පවසති.

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ කොමිසමෙන් සාධාරණයක් සිදුවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව අද කොළඹ මහාධිකරණය වෙත පැමිණ සිටි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ පැවසීය.

"වාහන අවභාවිත කිරීමේ චෝදනා එල්ල වී තිබෙන මන්ත්‍රීවරු ඇප නැතිව හිරේ දමා තිබෙනවා. රුපියල් බිලියන ගාන වංචා කල අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදැල්ලේ සිටිනවා. මොකක්ද මේකේ තිබෙන සාධාරණත්වය," බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සහ හිටපු අමාත්‍ය ජීඑල් පීරිස් එහිදී කරුණු දක්වමින්, බැඳුම්කර ගණුදෙනුවෙන් උපයාගත් මුදල් වියදම් කර හමාරවීමෙන් අනතුරුව කොමිසමක් පත් කිරීම "ඵලරහිත ක්‍රියාවක්" බව පැවසීය.

"මේක කරන්න තිබ්බේ කළින්. ඇයි රජය අවුරුදු දෙකක් බලන් හිටියේ. මෙම කොමිසමට ප්‍රායෝගිකව කළහැකි දෙයක් නැහැ," මහාචාර්ය ජීඑල් පීරිස් පැවසීය.

මේ අතර ඊයේ බීබීසී සංදේශය සමග අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, අදාළ කොමිසම පත්කිරීම අනුමත කරන නමුත්, කොමිසමේ නිගමනය ලැබීම සඳහා කල්ගතවන බැවින් චෝදනා ලබා සිටින පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමේ බලපත්‍රය අහෝසිකිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතු බව අවධාරණය කළේය. (සාකච්ඡාව සහිත බීබීසී සංදේශයට සවන්දෙන්න)

එමෙන්ම "ලෝකය පුරා සිදුවන පරිදි" අදාළ සමාගමේ සියලු ගණුදෙනු සහ මූල්‍ය ආයෝජන වහාම නැවැත්විය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයා පැවසීය.

"මෙවැනි හානියක්, පාඩුවක් අපරාධයක් ලෙස ජනාධිපතිතුමා නම්කරල තියෙනව. මේවා ඔක්කොම ඉතාම කල් ගතවෙන ක්‍රියාමාර්ග හැටියට අපි සළකන්නේ නමුත් කොමිසමක් පත්කිරීමේ වැරැද්දක් අපි දකින්නේ නෑ," දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.