තමිල්නාඩුවට තවත් 'මහ ඇමතිනියක්'

  • 2017 පෙබරවාරි 6
සසිකලා Image copyright AFP

තමිල්නාඩු මහ ඇමතිනියව සිටි ජයරාම් ජයලලිතාගේ අභාවයෙන් මාස දෙකකට පසුව තවත් කාන්තාවක එම ධුරයට පත්කිරීමට ප්‍රාන්ත රජය සැරසෙයි.

වැඩබලන මහ ඇමතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිටපු මහ ඇමතිනී ජයලලිතාගේ ප්‍රධානම ආධාරකාරිය වූ සසිකලා, මහ ඇමති පදවියට පත්කෙරෙන බව පාලක AIADMK පක්ෂය නිවේදනය කළේය.

සසිකලා තමිල්නාඩුවේ මහ ඇමති පදවියට පත්වනු ඇති බව ජයලලිතා අභාවයට පත්වූ මොහොතේ පටන් රාවයක් පැතිරෙමින් තිබිණ.

"තමිල්නාඩුවේ නව මහ ඇමතිවරිය ඇයයි. ජනතාවට සේවය කිරීම සඳහා අපට අම්මා (ජයලලිතා) වගේම ශක්තිමත් කාන්තාවක් අවශ්‍යයි," පක්ෂයේ ප්‍රකාශක සීආර් සරස්වතී ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

"පුද්ගලික හේතු මත" පදවියෙන් ඉල්ලා අස්වන බව, පසුගිය ඔක්තෝබර් මාසයේ ජයලලිතා රෝගාතුර වූ අවස්ථාවේ පටන් වැඩබලන මහ ඇමති පදවියේ කටයුතු කළ ඕ පන්නීර්සෙල්වම් නිවේදනය කළේය.

එහෙත් ප්‍රාන්තයේ ප්‍රධාන විරුද්ධ පක්ෂය ඔහුගේ එම තීරණය දැඩි විවේචනයට ලක්කර තිබේ.

"ජයලිතාගේ නිවසේ සිටින කිසිවකුට මහ ඇමති පදවියට පත්වීම සඳහා තමිල්නාඩුවේ ජනතාව ඡන්දය භාවිත කළේ නැහැ" යැයි විපක්‍ෂනායක එම්කේ ස්ටාලින් ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණි.

චින්නම්මා (පුංචි අම්මා) ලෙසින් සිය ආධාරකරුවන්ගේ ගෞරවයට ලක් වී සිටි සසිකලා ගතවගිය දශක තුනක කාලය මුළුල්ලේ ජයලලිතාගේ ජීවිතයේ සෙවනැල්ල මෙන් රැඳී සිටි අතර, පොදු වේදිකාවේ ද ඇය සමග ප්‍රසිද්ධියේ පෙනී සිටියාය.

කිසිදිනෙක තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ හෝ පක්ෂයේ කිසිදු තනතුරක් හෙබවූයේ නැතත්, ඇය ජයලලිතාගේ විශ්වාසවන්තම ආධාරකාරියක වූවාය.

එහෙත් බල කේන්ද්‍රය සමග ඇයගේ තිබූ සමීප සම්බන්ධතාව හේතුවෙන් පක්ෂය සහ ප්‍රාන්ත ආණ්ඩුව කෙරෙහි ප්‍රබල බලපෑමක් කිරීමට ඇයටත් අයගේ පවුලේ සාමාජිකයන්ටත් හැකියාව ලැබුණු බව විශ්ලේෂකයෝ පවසති.