දුමින්ද පිරික්සීමට වෛද්‍ය මණ්ඩලයක්

  • 2017 පෙබරවාරි 13
Image copyright Newsfirst
Image caption හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා

මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබ බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වාර්තාවක් ලබාගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අවධියේ සිය වත්කම් සහ බැරකම් ඉදිරිපත් කිරීමට පියවර නොගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම දුමින්ද සිල්වාට එරෙහිව නඩුවක් පවරා ඇති අතර එම නඩුව ඉකුත් වතාවේ කැඳවූ අවස්ථාවේ විත්තිකාර දුමින්ද සිල්වා අසනීප තත්වයෙන් පසුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් මහේස්ත්‍රාත්වරිය මින් පෙර අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළත් ඒ පිළිබඳව තමාට තීරණයක් දිය නොහැකි බව ඔහු දැනුම් දී තිබුණි.

Image caption භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩු විභාගයක දී.

එම තත්වය යටතේ විත්තිකරුගේ රෝගී තත්වය පිරික්සීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කොට වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණය ඉකුත් වසරේ මරණිය දණ්ඩනය නියම කරන ලද්දේ හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙනි.