ධීවර බෝට්ටුවල මගී ප්‍රවාහනය තහනම් - ධීවර ඇමති
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ධීවර බෝට්ටුවල මගී ප්‍රවාහනය තහනම් - ධීවර ඇමති

  • 2017 පෙබරවාරි 20

නීත්‍යානුකූල අවසරයකින් තොරව ධීවර බෝට්ටුවලින් මගීන් ප්‍රවාහනය කිරීම තහනම් බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඊයේ එකොළොස්දෙනෙකුට මරු කැඳවමින් කළුතර මුහුදු තීරයේ සිදුවූ බෝට්ටු අනතුර පිළිබඳව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

"අවසර ගන්නේ නැතුව ධීවර බෝට්ටුවල මගී ප්‍රවාහනය කරන්න බැහැ. ඊයේ සම්පුර්ණ වැරදි වැඩක් කරලා තියෙන්නේ," ඔහු පැවසීය.

කළුතරදී අනතුරට ලක්වූ බෝට්ටුව පැදවූ පුද්ගලයා හා එහි හිමිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දැනටමත් උපදෙස් දී ඇති බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

"ඔය ප්‍රමාණයේ බෝට්ටුවක උපරිම 6 දෙනයි යන්න පුළුවන්. නමුත් විශාල ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. අනිත් බරපතල වැරැද්ද තමයි ජීවිතාරක්ෂක කබා භාවිතා නොකිරීම. දැනට අපි තීන්දු කරලා තියෙනවා බෝට්ටු හිමියාට හා පදවපු කෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒවගේම පොලිසියට හා නාවික හමුදාවට නැවත උපදෙස් දෙනවා මේ වැටලීම් කරන්න කියලා," යනුවෙන් ඔහු පැවසීය.

ආර්ථික තත්වය යහපත් නැහැ

මේ අතර පසුගිය සති අන්තයේදී මීගමුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්විම ගැන විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ රටේ ආර්ථික තත්වය ගැන කරුණු පැහැදිලි කරගැනීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වුණු බවය.

රටේ ආර්ථිකය යහපත් තත්වයක තිබෙන බව පැවසුවොත් එය සත්‍යයෙන් තොර බව පැවසූ මහින්ද අමරවීර අමාත්‍යවරයා "අපේ ජාතික ආදායමෙන් 90.6% ක් අපි ණය සඳහා වැය කරන්න ඕනේ. ඒක ඉතාමත් බරපතල තත්වයක්. ඒක කළමනාකරණ ආකාරය ගැන තමයි අපි කතා කළේ," යනුවෙන් ප්‍රකාශ කළේය.

1994 රටේ ජනාධිපති ධුරය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මේ තත්වයට වගකිවයුතු නේදැයි විමසු විට අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ද ඇතුළු මේ රටේ පාලනයට දායකවූ සියළු දෙනා මේ සඳහා වගකිවයුතු බවය.