වැඩිමිල සහල් සොයා දිවයින පුරා වැටලීම්

  • 2017 පෙබරවාරි 21
Image copyright AFP
Image caption කඩවීදියේ පාලන මිලට සහල් ලබාගැනීම දුෂ්කර වුවත් සුපිරි වෙළඳසැල්වල පාලන මිලට සහල් අලෙවි කෙරෙන බව බීබීසී යට අනාවරණය වේ

සහල් සඳහා පාලන මිලක් නියමකර තිබියදී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා වැටලීම් 137 ක් සිදුකළ බව වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

ඊයේ (20) සිදුකළ එම වැටලීම් වලදී වැඩි මිලට සහල් විකුණූ ස්ථාන 52ක් හඳුනාගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් පැවසීය.

එම පුද්ගලයන්ට සහ ව්‍යාපාරික ස්ථාන වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙසේ වැඩිමිලට සහල් අලෙවි කරන්නන් සොයා සිදුකළ වැටලීම් 137න් 13 ක් කොළඹ දිස්ත්‍රික්කයේදී සිදුකෙරුණු අතර එය දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ ඉහළම වැටලීම් සංඛ්‍යාව බවත් අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

මේ ආකාරයට පිළිවෙලින් මහනුවර දිස්ත්‍රික්කයේ වැටලීම් 12 ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැටලීම් 10 ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 08 ක් සහ වව්නියා දිස්ත්‍රික්කයේ 07 ක්ද පොලොන්නරුව සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැටලීම් 6 බැගින්ද සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ආණ්ඩුව විසින් පාලන මිලක් නියමකර තිබුණත්, ඒ මිලට ලබාදීම සඳහා තමන්ට සාධාරණ මිලකට සහල නොලැබෙන බව කොළඹදී සහ හලාවතදී සහල් වෙළෙඳුන් පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසූහ.

කඩවීදියේ පාලන මිලට සහල් ලබාගැනීම දුෂ්කර වුවත් සුපිරි වෙළඳසැල්වල පාලන මිලට සහල් අලෙවි කෙරෙන බව බීබීසී යට අනාවරණය වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර