කිම් ජෝන් නාම් ගේ මරණයේ අබිරහස
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කිම් ජොන්ග් නාම් ගේ අවසන් විනාඩි කිහිපය

  • 2017 පෙබරවාරි 21

කිම් ජොන්ග් නාම් ගේ මෘත ශරීරය නිල වශයෙන් හඳුනාගැනීම සඳහා මෙතෙක් ඔහුගේ පවුලේ කිසිවකු ඉදිරිපත්වී නැති බව මැලේසියානු බලධාරීහු පවසති.

එහෙත්, පැතිර යන ආරංචිවලින් කියැවෙන්නේ නාම් ගේ පුත් කිම් හන් - සොල් මැකාවු සිට ක්වාලාලම්පුර් වෙත පැමිණ ඇති බවය.

උතුරු කොරියානු පාලනයේ නොසතුටට ලක්වීමත් සමග කිම් ජොන්ග් නාම් ගේ පවුල අප්‍රකට ජීවිතයකට පිවිසී තිබිණි.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ගේ පියාගේ පෙර විවාහයේ පුතු වන කිම් ජොන්ග් නාම් පසුගිය සතියේදී මියගියේ, ක්වාලාලම්පුර් ගුවන්තොටින් නික්ම යාමට සිටියදීය.

ඔහුගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි තවමත් මරණ පරීක්ෂණයට අදාළ රසායනාගාර වාර්තා අපේක්ෂාවෙන් සිටී.

හෘදයාබාදයක හෝ පහරදීමක ලකුණු දක්නට නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හිෂාම් අබ්දුල්ලා පැවසීය.

කිම් ජොන්ග් නාම් ගේ සිරුර තැන්පත් කර ඇති මෘත ශරීරාගාරය අසළ දැඩි ආරක්ෂක රැකවරණ යොදා ඇත.

මෙම සිදුවීමත් සමග මැලේසියාව හා උතුරු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇති අතර මෘත ශරීරය භාර දෙන ලෙසට කළ ඉල්ලීම නොතකමින් උතුරු කොරියාවේ විරෝධය මධ්‍යයේ මැලේසියාවේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.

එරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෘත ශරීරය හඳුනාගැනීමට සහය වනු පිණිස අවශ්‍යවන දන්ත හෝ වෛද්‍ය වාර්තා කිසිවක් උතුරු කොරියානු තානාපති කාර්යාලයෙන් සපයා නැති බවය.

දෙරට උණුසුම් වාදයක පැටලුනේ, මැලේසියාව යමක් වසන්කිරීමට තන්නේයැයි උතුරු කොරියානු තානාපති කාන්ග් චොල් චෝදනා නැගීමත් සමගිනි.

"සිද්ධියට දින 7ක් ගත වෙලත් මරණයට පැහැදිලි හේතුවක් නැහැ. මේ වෙලාවේ මැලේසියාවේ පොලිසිය ගෙනයන විමර්ශනය ගැන අපට විශ්වාසය තබන්නට බැහැ," යැයි ඔහු පැවසීය.

"මේ විමර්ශනය පසුපස වෙනත් කෙනෙක් සිටින බවට සැකය ඉහළ නැංවීම පමණයි සිදුවී තිබෙන්නේ."

කෙසේ වෙතත්, මෙය 'අපහාසයක්' බව පැවසූ මැලේසියාව උතුරු කොරියානු තානාපතිවරයා කැඳවා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් විමසීමෙන් නොනැවතී ප්යෝන්ග් යැන්ග් හි සිටින සිය තානාපතිවරයා ද යළි කැඳවනු ලැබීය.