අනුර ගැන තවත් පරීක්‍ෂණයක්

  • 2017 පෙබරවාරි 23
Image caption හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක

පසුගිය රජය සමයේදී සුදු වෑන් රථයකින් පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට අදාළ පරීක්ෂණ යටපත් කිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට පිළිබඳව පරීක්ෂණයක් ආරම්භකර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (පෙබ. 23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලබන 28 වනදා මේ පිළිබඳව ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට තීරණයකර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්ණේය.

පොලිසිය පවසන්නේ 2011 වසරේදී වත්තල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලදී දමිල ජාතිකයන් දෙදෙනෙකු, වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් විසින් පැහැරගත් බවට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබූ බවය.

ජංගම දුරකතනයක්

මෙසේ අතුරුදන් වී සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකතනයක් වැලිසර නාවික කඳවුරේ ලුතිනන් කොමදෝරු සම්පත් දයානන්ද නැමැත්තා භාවිතා කරන බවට එම පොලිස් කණ්ඩායම අනාවරණය කරගත් බව කී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණ කටයුතු නතර කරන මෙන් එවකට නියෝජ්‍ය පොලිස්පතිව සිටි අනුර සේනානායක නියෝග කර ඇති බවද දන්වා සිටියේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වැදිසිංහ ඇතුළු නිලධාරින් තමන්ට ලබාදුන් ප්‍රකාශවලින් ඒ බව සනාථකර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේය.