හලාවත දරුවා යළි පාසැලට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පමාවූ පාසැල් ගමන ඇරඹෙයි

  • 2017 පෙබරවාරි 23

වසර දෙකකුත් මාස දෙකක කාලයක් පාසැල් අධ්‍යාපනය අහිමිවී සිටි හලාවත ශේපන් ශානිල් නමැති දරුවා අද(23) සිය පාසැල් ගමන ආරම්භ කළේය.

වසර දෙකක කාලයක් තම පුතුට අධ්‍යාපනය ලැබීම සඳහා පාසැලක් ලබානොදුන් බවට හලාවත අධ්‍යාපන බලධාරීන්ට චෝදනා කරමින් මානව හිමිකම් කොමිසම හමුවට ගිය දරුවාගේ මව තම පුතුගේ අධ්‍යාපන අයිතිය දිනාගැනීමේ උත්සාහයේදී ජනමාධ්‍යවේදීන් ලබාදුන් සහයෝගය අගය කළාය.

ශේපන්ගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා පමණක් නොව ඔහුගේ මව සහ පියාගේ පියාද අධ්‍යාපනය ලබා ඇති හලාවත ආනන්ද ජාතික පාසැලට මීටර් සියයක් පමණ නුදුරින් තමන් වාසය කරන නමුත් 2015 දී දරුවා ඇතුලත් කිරීම පාසල් බලධාරීන් ප්‍රතික්ෂේප කළ බව දරුවාගේ මව නිර්මලී පෙරේරා මින්පෙර සාකච්ඡාවක දී BBC සංදේශයට පැවසුවාය.

විදුහලෙන් ඉල්ලා සිටි මුදල ලබාදීමට නොහැකිවීම හේතුවෙන් දරුවා පාසැල ට භාර නොගත් බව ඇය මානව හිමිකම් කොමිසමට සහ අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත්කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණ විමර්ශන වාර්තාවක් අනුව අද සිට (23) පාසැල් ගමන යළි ආරම්භ කළ ශේපන්ට අතපසු වූ එක සහ දෙක වසර පාඩම් යළි ලබාදීමට විදුහල්පතිවරයා පොරොන්දු වූ බව දරුවාගේ මව පවසන්නීය.