නාවුක හමුදාපතිගේ සේවා දිගුවට විරෝධයක්

  • 2017 පෙබරවාරි 27
Image caption මාධ්‍යවේදීන්ට නිදහසේ වැඩකළ හැකි පරිසරයක් රට තුළ ඇතිකළ යුතු බව අදාළ නිවේදනය මගින් පෙන්වාදී තිබේ

හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට ප්‍රසිද්ධියේ පහරදුන් බවට චෝදනා ලබා සිටින නාවික හමුදාපතිවරයාට ජනාධිපතිවරයා සේවා දිගුවක් ලබාදීම දැඩි ලෙස හෙලා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

නාවික හමුදාපතිවරයාට අදාළව කර ඇති පැමිණිලි පිළිබඳව සිදුකරන බවට කියැවුණු පරීක්‍ෂණවල තත්වය ද 'අභිරහසක්'ව තිබියදී ඔහුට සේවා දිගුවක් ලබාදීම මගින් පිළිබිඹුවන්නේ යහපාලනය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඇති සැබෑ වුවමනාවදැයි එම සංගමය ප්‍රශ්න කරයි.

මීට අමතරව මාධ්‍යවේදීන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් නැවත සේවයේ පිහිටුවන්නේ කුමන පදනමකින්දැයි ප්‍රශ්නකරන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පසුගිය කාලය තුළ සිදුවූ ජනමාධ්‍යවේදීන් අතුරුදන්වීම් හා නොයෙකුත් ආකාරයේ තර්ජනය කිරීම් සම්බන්ධව රජය සිදුකරන පරීක්ෂණ පිළිබඳව බලවත් ප්‍රශ්නාර්ථයක් ඇති බව පවසයි.

මාධ්‍ය නිදහසත් ජනමාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාවත් තහවුරු කරන බව පවසමින් බලයට පත්වීම සඳහා ජනතාවට ලබාදුන් පොරොන්දු අර්ථවත්වීමට නම් ජනමාධ්‍ය වලට එරෙහි සියලුම ආකාරයේ අපරාධ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා මාධ්‍යවේදීන්ට නිදහසේ වැඩකළ හැකි පරිසරයක් රට තුළ ඇතිකළ යුතු බව අදාළ නිවේදනය මගින් පෙන්වාදී ඇත.

මාධ්‍යයට එරෙහි විවිධ අපරාධ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස සංගමය විසින් කරන ලද ඉල්ලීම්වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය නිවේදනයේ සඳහන් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර