කේපාපිලවු ඉඩම් ප්‍රශ්නයට "හැකි ඉක්මනින් විසඳුම්"

  • 2017 පෙබරවාරි 27
කේපාපිලවු ජනතාව මාසයකටත් අධික කාලයක් මුළුල්ලේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටිති

කේපාපිලවු සහ පුදුකුඩිඉරිප්පු ජනතාවගේ ඉඩම් ප්‍රශ්නයට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ බලධාරීන්ට නියෝග කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් පවසයි.

උතුරේ ජනතාවගේ ඉඩම් ගැට‍ළු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග අද පැවති සාකච්ඡාව අවස්ථාවේ ජනාධිපතිවරයා එසේ නියෝග කළ බව කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"කේපාපිලවු ඉඩම් දැනට ගුවන් හමුදාවේ භාරයේ තිබෙන අතර, එහි පවුල් පනස් හතරකට ඉඩම් බලපත්‍රය තිබෙනවා. පවුල් හතලිහකට අයත් බලපත්‍ර දිසාපති කාර්යාලය හරහා පරික්ෂා කර සහතික කර තිබෙනවා," සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.

ඉඩම් අහිමි වූ ජනතාවට රජය විසින් නිවසක් සමග විකල්ප ඉඩමක් ලබා දී ඇතැයි ඒ අවස්ථාවේ ගුවන් හමුදාපතිවරයා ජනාධිපතිවරයාට දැනුම්දුන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පවසන පරිදි, එම ඉඩම අනවශ්‍ය බව ඔවුන් ලිඛිතව දැනුම් දෙන්නේ නම් ඔවුන් මුල් ඉඩම්වල යළි පදිංචි කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා බලධාරීන්ට නියෝග කර තිබේ.

එසේ සිය මුල් ඉඩමට යන්නේද, නොඑසේනම් රජය විසින් ලබා දුන් විකල්ප ඉඩම්වල රැඳී සිටින්නේද යන්න කේපාපිලවු වැසියන් තීරණය කළ යුතු බව පවසන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන්, පුදුකුඩිඉරිප්පු ජනතාවගේ ඉඩම් නිදහස් කර හමුදාවට වෙනත් ඉඩමක් ලබාදෙන මෙන් ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට නියෝග කර තිබෙන බවත් සඳහන් කළේය.

ගුවන් හමුදාව භාරයේ පවතින තමන්ගේ ඉඩම් යළි තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් කේපාපිලවු ජනතාව මාසයකටත් අධික කාලයක් මුළුල්ලේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර