ඉඩම්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉඩම් යළි ලබා ගන්න තොරතුරු පනතේ සහාය

  • 2017 පෙබරවාරි 28

තවමත් රජය හා හමුදාව යටතේ පවතින සිය ඉඩම් නැවත ලබාගැනීම පිණිස තොරතුරු රැස්කිරීම සඳහා තොරතුරු දැනගැනීම පනත යොදාගැනීමට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසියෝ කටයුතු කරමින් සිටිති.

එලස ඉඩම් අහිමිවූ දෙසීයකට ආසන්න පිරිසක් අද දින සිය මුල් ඉඩම්වල තොරතුරු ඉල්ලා ජනාධිපති කාර්යාලයට මෙන්ම අදාළ රජයේ ආයතන කිහිපයකට ඉල්ලුම්පත් භාරදුන්හ.

ඒ සඳහා ඉඩම් අහිමිවූ ජනතාවට සහායදීමට 'මිත්‍රත්වය සහ සහයෝගිතාව සඳහා තරුණ සංවිධානය' නම් තරුණ කණ්ඩායම ඉදිරිපත්ව සිටි.

අදාළ වාර්තා ලබාගතහොත් එම ජනතාවට තම ඉඩම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට යාම පහසු වනු ඇති බව මෙම සංවිධානයේ සභාපති රවීන්ද්‍ර ද සිල්වා පැවසීය.

ඊට අමතරව උතුරේ හමුදාව අත්පත්කරගෙන ඇති මුළු ඉඩම් ප්‍රමාණය හා ඒවා අත්පත් කරගත් ආකාරය පිළිබඳව තොරතුරුද ඉල්ලුම් කළ බවත් ඔහු සඳහන් කළේය.

යුද සමයේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ද අතුරුදහන්වූ පිරිස් පිළිබඳ තොරතුරු ඉල්ලා බලධාරීන් වෙත ඉල්ලුම්පත්‍ර යොමුකළහ.

මේ අතර අද (පෙබ.28) ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරය ඇමතූ විදේශ අමාත්‍ය මංගල සමරවීර, 2016 වසරේදී රජයේ ඉඩම් අක්කර 5515.98 ක් සහ පුද්ගලික ඉඩම් අක්කර 2090 ක් 2016 වසරේදී යළිත් ලබා දී තිබෙන බව සඳහන් කළේය.