"කාන්තාවන්ගෙන් 90% කට පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවර"

  • 2017 පෙබරවාරි 28
ශ්‍රී ලංකාවේ කාන්තාවෝ Image copyright Getty Images

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව සිය සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එහෙත් ඒ අතරින් පොලිසියේ සහය පතන්නේ අතවරයට ලක්වන කාන්තාවන්ගෙන් සියයට හතරකට ආසන්න පිරිසක් පමණක්ය යන්න දීපව්‍යාප්තව සිදු කළ සිය සමීක්ෂණයේදී හෙළි වූ බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සඳහන් කරයි.

"ලිංගික අතවරයන් මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන අතර, කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට කායිකව, මානසිකව සහ ආර්ථිකව වෙනස්කම් කෙරෙන සංස්කෘතියට දායක වෙයි," යනුවෙන් ද ඒ පිළිබඳව UNFPA ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

පොදු ප්‍රවාහනයේදී, සේවා ස්ථානවලදී සහ මහමගදී ලිංගික හිංසනයට මුහුණදුන් තරුණියන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද සිය වේදනාබර අත්දැකීම හෙළිකළහ.

ශ්‍රී ලාංකික කාන්තාවගේ වේදනාබර අත්දැකීම

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් ලිංගික අතවරවලට මුහුණදීමේ ගැටලුව ජාතික ප්‍රමුඛතාවක් ලෙසින් හඳුනාගෙන එය වැළැක්වීම සඳහා වූ "ඇය සුරැකි ගමනකද" වැඩසටහන සඳුදා කොළඹදී ආරම්භ කෙරුණි.

UNFPA ආයතනය, ශ්‍රී ලංකාවේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව එම වැඩසටහන දියත්කිරීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශයේ ප්‍රධානී සහකාර පොලිස් අධිකාරිනී එල්ජී අමරසේන, ලිගික අතවරවලට ලක්වන කාන්තාවන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නාය.

'119 අමතන්න'

"මම හිතන්නේ මෙතන මම ඇහුවොත් කිසි කෙනෙක්ට කියන්න බැරිවෙයි මට නම් එහෙම වෙලා නැහැ කියල. අපිට පොඩි ඇඟිල්ලකින් හරි හිංසනයක් වෙලා තියෙනව," ඇය සඳහන් කළාය.

Image caption "119 අංකයට හෝ සැකකරු පිළිබඳව විස්තර දන්නේ නම් 1938 සහ 2444444 අංකවලට පොලිසිය අමතන්න"

එබැවින් 119 දුරකතන අංකය හෝ සැකකරු පිළිබඳව විස්තර දන්නේ නම් 1938 සහ 2444444 අංකවලට අමතා තමන්ට සිදුවන අතවර පිළිබඳව සිය කාර්යාංශයට දැනුම්දෙන මෙන් සහකාර පොලිස් අධිකාරිවරිය කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කළාය.

වින්දිතයා මෙන්ම ඒ අසල සිටින පුද්ගලයන්ද කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් ඉදිරිපත්වීමේ අවශ්‍යතාවය ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

පොදු ප්‍රවාහන සේවාවන්හිදී ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයනය, ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳව දත්ත රැස්කරන ප්‍රථම පියවර බවත් UNFPA ආයතනය වැඩිදුරටත් පවසයි.