නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය බව ඇමති මංගල කියයි

  • 2017 පෙබරවාරි 28
අමාත්‍ය මංගල සමරවීර

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිණිස මෙන්ම යළිත් වරක් යුද ගැටුම මතුනොවීම සහතික කිරීම පිණිස නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පෙන්වාදෙන විදේශ අමාත්‍ය මංගල සමරවීර, එම ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තු ක්‍රියාදාමය මෙන්ම ජනමත විචාරණයක් ද අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.

විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරය අමතා අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ අන් කිසිදිනෙක සිදු නොවූ අන්දමට වත්මන් ආණ්ඩුව ජනතා අදහස් විමසමින් රටේ ජනතාවගේ සැබෑ අභිලාෂයන් නිරූපණයවන ආකාරයේ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෙදී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත් ආණ්ඩුවේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ ජනමත විචාරණය සම්බන්ධයෙන් මෙතෙක් අවසාන තීරණයකට එළැඹ නැත.

විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් වැනි 'කරුණු රාශියක්' සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාම ඉතා සංකීර්ණ බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් 'ව්‍යවස්ථා සංශෝධනය' ක්‍රියාවට නැගීමට උත්සාහ දැරීම සිය උත්සාහය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.

විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ දේශනයේ ප්‍රධාන කරුණු අතර:

  • අතුරුදහන්වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම
  • මරණ සහතික වෙනුවට 'නොදුටු සහතික' නිකුත්කිරීමේ ක්‍රියාදාමයක් ආරම්භ කිරීම
  • 2017 සිට 2021 කාලය සඳහා ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම
  • උතුරු නැගෙනහිර අවතැන්වූවන්ට 2016 වසරේදී නිවාස 11,253 ක් භාරදීම

ජිනීවා නුවරදී තවදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර, යුද ගැටුම්වල අවසාන භාගයේ හටගත් වාතාවරණය සම්බන්ධයෙන් 'සත්‍යය සෙවීමේ කොමිසමක්' පත්කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.

Image copyright SriLankaMirror.lk
Image caption සංහිඳියාව උදෙසාවන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකයේ වාර්තාව හිටපු ජනාධිපතිනියට භාරදුන් අවස්ථාව

"සිය මානව හිමිකම් උල්ලංඝනයවූවන්ට සාධාරණය ඉටුකිරීම සඳහා වූ අපේ කැපවීම තිරසාරය," යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සංහිඳියාව පිළිබඳව වින්දිතයන් ඇතුළු රටවැසියන්ගේ අදහස් විමසමින් "සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය" පූර්ණ වාර්තාවක් සකස් කළ බව පෙන්වාදුන් විදේශ අමාත්‍යවරයා, සත්‍යය සෙවීම සහ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම වැනි කටයුතු වෙනුවෙන් එම වාර්තාව උපයෝගී කරගන්නා බව සඳහන් කළේය.

කෙසේ නමුත් යුද අපරාධ චෝදනා සම්බන්ධ පරීක්ෂණ මණ්ඩලයට විදේශීය විනිසුරුවරුන් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගත යුතු බවට සංහිඳියාව උදෙසාවන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කරන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා අවධාරණය කළේය.