රාජ්‍ය ද්‍රෝහීන් අද සිට දේශප්‍රේමීන්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රාජ්‍ය ද්‍රෝහීන් අද සිට දේශප්‍රේමීන්

1818 වසරේ ඌව - වෙල්ලස්ස කැරැල්ලට දායක වීම මත බ්‍රිතාන්‍ය පාලනය විසින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කරන ලද අසූ දෙදෙනෙකු දේශප්‍රේමීන් ලෙස නම් කෙරිණ.

ඉහත කී පිරිස දේශප්‍රේමීන් ලෙස නම් කිරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අද (මාර්තු 01) අත්සන් තබන ලද්දේ මහනුවර ඓතිහාසික මගුල්මඩුවේදීය.

1815 වසරේ කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය.

පසුව 1818 වසරේදී උඩරට නායකයෝ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරැල්ලක් දියත් කළහ.

බ්‍රිතාන්‍ය පාලනය විසින් එම කැරැල්ල පරාජයට පත් කරන ලද අතර ඊට සම්බන්ධ වූ ඉහළ පෙළ නායකයන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කිරීමට එවක ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රොබට් බ්‍රව්න්රිග් කටයුතු කළේය.

කැරැල්ලේ නායකයන්

කැප්පෙටිපොල අධිකාරම්, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, මහා බෙත්මරාලේ, කුඩා බෙත්මරාලේ, පොල්ගොල්ල මොහොට්ටාලේ, වත්තේ කැලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරෙවත්තෙ විදානේ, කිව්ලේගෙදර මොහොට්ටාලේ, යාලගොම්මේ මොහොට්ටාලේ, උඩමාදුරේ මොහොට්ටාලේ, කොහුකුඹුරේ රටේරාලේ, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාලේ, බුටුවේ රටේරාලේ, බගිනිගහවෙල රටේරාළ, මහාබදුල්ලේ ගම්මානේ රටේරාලේ, බුළුපිටියේ මොහොට්ටාලේ හා පල්ලේ මල්හෙයායේ ගමැතිරාලේ යන නායකයන් වසර 200 කට පමණ ඉහතදී නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් රාජ්‍ය ද්‍රොහීන් ලෙස නම් කරනු ලැබ තිබිණි.