අධිකරණ භූමියේත් වෙඩි තැබීමේ උත්සාහයක්?

Image copyright AFP

ගල්කිස්ස අධිකරණ භුමියට ආයුධ ගෙනැවිත් තිබුණේ අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙසින් දැයි සැක කෙරෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ගල්කිස්ස අධිකරණ භුමියේ අද උදෑසන (මාර්තු 01) චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ දශම තුනයි එකයි බින්දුව රිවෝල්වරයක් උණ්ඩ හතර සහ හය බැගින් සොයා ගනු ලැබූ බව නියෝජ්‍ය පොලිස් පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රබලයෙකු අද ගල්කිස්ස අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබු අතර ඇතැම් විට ඔහුට ප්‍රතිවිරුද්ධ කල්ලියක් විසින් ඔහු ඝාතනය කිරීමේ හෝ ඔහුට පක්ෂ කල්ලියක් ඔහු අතට එම ආයුධ පත් කිරීමේ අරමුණින් මෙම ආයුධ රැගෙනවිත් ඇතැයි සැක කරන බව ද ඔහු පැවසීය.

කළුතර බන්ධනාගාර බසයට වෙඩි තැබීමේ සිදු වීමෙන් පසු දරුණු අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත්දැයි බීබීසී සිංහල සේවය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු, අද දින අධිකරණ භුමියේ තිබී ගිනි අවි සොයා ගැනීමට හැකි වීම එවැනි අවස්ථා වලදී පොලිස් ආරක්ෂාව තර කිරීමේ ප්‍රතිඵලයක් බවත් සඳහන් කළේය.

අධිකරණයට සහ දරුණු අපරාධකරුවන් යයි සැක කෙරෙන පුද්ගලයන් ප්‍රවාහනයේදී බන්ධනාගාර රථ වලට දැඩි ආරක්ෂාවක් සැපයීමට මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩ පිළිවෙලක් සකස් කරමින් සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්