අනුරගේ දුරකතන ඇමතුම් පරික්ෂාවට

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක
Image caption හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක

වසීම් තාජුදින් ඝාතනය සම්බන්ධ සැකකරුවෙකු ලෙස නම්කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක භාවිතා කළ ජංගම දුරකතනය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කළේය.

අදාළ පැමිණිල්ල අද අද (මාර්තු.02) කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය කියා සිටියේ මියගිය වසීම් තාජුදින්ගේ බැංකු ක්‍රෙඩිට් කාඩ්පත පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය බවය.

එමෙන්ම අනන්‍යතාව හෙළි කරන ලද තවත් පුද්ගලයන් පස් දෙනෙකුගේ බැංකු ගිණුම් පිළිබඳව ද පරික්ෂා කිරීමට අවසර ලබා දෙන මෙන් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම්වලට අවසර ලබා දුන් අධිකරණය පරීක්ෂණවලට අවශ්‍ය වාර්තා පොලිසිය වෙත ලබාදෙන මෙන් අදාළ බැංකු ආයතනවලට නියෝග කළේය.

බැංකු කාඩ්පත්

Image caption රගර් ක්‍රීඩක වසීම් තාජුදින්

එසේම හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක භාවිතා කළ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම් සහ ලබාගත් ඇමතුම් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බව ද පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියේය.

එම ඉල්ලීමට ඉඩ ලබා දුන් අධිකරණය පරීක්ෂණවලට අවශ්‍ය වාර්තා ලබා දෙන ලෙස අදාළ ජංගම දුරකතන සමාගමට නියෝග කළේය.

අනතුරුව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 16 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන්නැයි පොලිසියට නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර