ගල්කිස්ස අවි සම්බන්ධයෙන් විසිදෙනකු අත්අඩංගුවේ

  • 2017 මාර්තු 2
Image caption අධිකරණ භූමියට ගිනිඅවි ගෙන ඒමට හැකිතරම් ආරක්ෂක විධිවිධාන ලිහිල්වීම සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වෙයි

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් හසු වූ අවි සම්බන්ධයෙන් පුද්ගලයන් විසිදෙනකු අත්අඩංගුවට ගත්බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔවුන් මාර්තු දහතුන්වෙනි දිනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් අධිකරණය නියෝග කළබව පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ අසුනක් යට තිබී ඊයේ(01) ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සොයාගනු ලැබුණි.

සොයාගන්නා ලද ගිනිඅවි දෙක වූ පිස්තෝලය සහ රිවෝල්වරය සමඟ ඒවාට යොදන ජීව උණ්ඩද තිබුණ බව පොලිසිය පවසයි.

එදින උසාවියට ගෙනඒමට නියමිතව සිටි පුද්ගලයකු ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් එම අවි එහි ගෙනෙන ලදැයි සැක කෙරෙන අතර, අදාළ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙමින් ඇති බවත් පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසීයට ප්‍රකාශ කළේය.