හෘද රෝග
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ළමා මරණ බහුතරයකට හේතුව හෘද රෝග

ශ්‍රී ලංකාවේ අවුරුදු පහට අඩු ළමා මරණවලට ප්‍රධානම හේතුව හෘද රෝග බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ළමා සහ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

එවැනි හෘද රෝග සහිත දරුවන්ට නිසි ප්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීමත් මරණවලට බොහෝ සෙයින් බලපා ඇති බව ළමා සහ හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාව තුළ වසරකට දරු උපත් තුන්ලක්ෂ හැත්තෑ පන්දහසත් හාරලක්ෂයත් අතර සංඛ්‍යාවක් වාර්තාවන බව ළමා සහ හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ සඳහන් කළේය.

අලුතින් ඉපදෙන සෑම දරුවන් දහසකින් හයත් අටත් අතර සංඛ්‍යාවකට හෘදය සම්බන්ධ ගැටලු පවතින බවත් ඔහු පෙන්වා දුනි.

ශල්‍යකර්ම දහසක් පමණයි

"එතකොට ළමුන් දාහකට හයත් අටත් අතර සංඛ්‍යාවක් කියන්නේ, ළමුන් තුන්ලක්ෂ හැත්තෑ පන්දහකට, තුන්දාහත් තුන්දහස් දෙසීයත් අතර ප්‍රමාණයක්," යනුවෙන් සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා ඉන් තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දීමට අවශ්‍යවන බව සඳහන් කළේය.

ඒ අතරින් දරුවන් දෙදහසත් තුන්දහසත් අතර සංඛ්‍යාවකට වසරක් තුළ ප්‍රතිකාර ලබා දිය යුතු බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ "දෙදාහකට ශල්‍යකර්ම මගින් සහ දාහකට කැතීටකරණ මාර්ගයෙන් ප්‍රතිකාර කරන්න අපි බලාපොරොත්තු වෙනවා," යනුවෙන් පැවසීය.

"දැනට අපට කරන්න පුළුවන් ශල්‍යකර්ම දාහයි. කැතීටකරණ මාර්ගයෙන් කරන්නේ තව හයසීයක් හත් සීයක් විතර. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් සියයට පනහක් තමයි දැනට කරන්නේ."

නව ගොඩනැගිල්ලක්

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට නියමිත හෘද රෝග ඒකකය සහිත අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පසුගියදා නිවේදනය කළේය.

ඉදිකිරීමට නියමිත හෘද රෝග ඒකකය සහිත අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකය මහල් දහයකින් සමන්විත බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සබැඳි විෂයයන්