කළුතර
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අපරාධ රැල්ලක් නෑ - සාගල

  • 2017 මාර්තු 3

කළුතරදී බන්ධනාගාර රථයකට එල්ල වූ ප්‍රහාරයත් සමග රට තුළ සංවිධානාත්මක අපරාධ වැඩි වීමේ ප්‍රවණතාවක් ඇතැයි ජනතාව තුළ සැකයක් මතු වී තිබෙන නමුත් එවැනි ප්‍රවණතාවක් දක්නට නොමැති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා අවධාරණය කරයි.

රැඳවියන් ප්‍රවාහනය කරනු ලබන බන්ධනාගාර බස් රථවලට ආරක්ෂාව සැපයීමේ වගකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන්ම පොලිසිය ද භාරගත යුතු බවත් අමාත්‍ය සාගල රත්නායක සඳහන් කළේය.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ අද (මාර්තු 03) මාතර අනුර විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙලට සහභාගි වීමෙන් අනතුරුව පසුගියදා කළුතර බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමිනි.

ප්‍රහාරයට ලක් වූ බස් රථයට අතිරේක ආරක්ෂාවක් ලබා දෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලිසියෙන් ඉල්ලීමක් කර තිබූ බව පිළිගත් අමාත්‍යවරයා, කෙසේ නමුත් එම ඉල්ලීම කර තිබුණේ ඊට පෙරදින රාත්‍රියේ බවත් සඳහන් කළේය.

නව වැඩපිළිවෙලක්



ඒ වන විට අදාළ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් වෙනත් රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කර තිබූ බැවින් ආරක්ෂාව සැපයීමට නොහැකි බව පොලිසිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා තිබූ බවත් ඔහු සඳහන් කළේය.

"මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. දෙගොල්ලොගෙම වගකීම. මේක නිවැරදි කරන එක තමයි අපේ ප්‍රධානම අරමුණ විය යුත්තේ."

දරුණු අපරාධවලට සම්බන්ධ සැකකරුවන් ප්‍රවාහනය කිරීමේදී අවශ්‍ය ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් කල් තියා සැලසුම් කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.

මේ අතර ප්‍රහාරය සිදු වූ දින නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර, පුනරුත්ථාපන අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් කියා සිටියේ අවශ්‍ය පොලිස් ආරක්ෂාව යොදවා තිබුණේ නම් එම ප්‍රහාරය වළක්වාගත හැකිව තිබුණු බව ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී අනාවරණය වූ බවය.

සබැඳි විෂයයන්