ශ්‍රී ලංකාවේ ලිංගික හිංසනයට 'දඬුවමක් තිබෙන බව දන්නේ නෑ'

සමීක්ෂණ වාර්තාව Image copyright UNFPA

ලිංගික හිංසනය යනු ශ්‍රී ලංකාවේ දඬුවම් ලැබෙන අපරාධයක් බව සමීක්ෂණයකට සහභාගිවූවන්ගෙන් අඩකට වැඩි පිරිසක් නොදැන සිටි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ඒ බව සඳහන් කරන්නේ පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනය පිළිබඳව සමීක්ෂණ වාර්තාවක් එළිදක්වමිනි.

එම සමීක්ෂණ වාර්තාව ප්‍රකාර, ලිංගික හිංසන වරදට දඬුවමක් තිබෙන බව සමීක්ෂණයට සහභාගි වූ 2500 දෙනාගෙන් 60% ක්ම නොදැන සිටියහ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ "කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතුම මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුත්තේය," යන වගන්තිය මගින් සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහතික කර තිබෙන බව පෙන්වාදෙන UNFPA ආයතනය, දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වගන්තිය අනුවත් ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පෙන්වාදෙයි.

දුම්රියේදී, බස් රථයේදී, මහමගදී සහ වැඩපොලේදී ලිංගික හිංසනයට ගොදුරුවීමේ වේදනාබර අත්දැකීම තරුණියන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද හෙළිකළහ.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැරවලින් 74% ක් සිතාමතා ශරීර කොටසක් ස්පර්ශ කිරීමේ අවස්ථාවන අතර, 52% ක් වෙනත් පුද්ගලයකුගේ ශරීරයේ තමන්ගේ ලිංගික අවයව ඇතිල්ලීමේ අවස්ථා බවත් සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

පොදු ප්‍රවාහන සේවාවලදී කිසිවකු ලිංගික හිංසනයට ලක්වන ආකාරය දැක තිබෙන බව සමීක්ෂණයට සහභාගි වූ පිරිසෙන් 82% ක් පැවසූහ.

"පිරිමි මගීන් කුඩා ගැහැණු ළමයින් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරන හෝ ඇඟට හේත්තු වී සිටින ආකාරය මම බොහෝ අවස්ථාවල දැක ඇත්තෙමි. කුඩා ළමයින් බස්රියවලට ගොඩවන විට බස් කොන්දොස්තරලාද ඔවුන් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරති," යනුවෙන් එක් පුද්ගලයෙක් පවසා තිබේ.

එහෙත් එවැනි අවස්ථාවක වෙනත් මගීන් එයට මැදිහත් වන්නේ ඉතා කලාතුරකින් බව ද සමීක්ෂණයෙන් හෙළි වූ තවත් කරුණකි.

සිය ආර්ථික විභවයන් අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව ශ්‍රම බලකායේ ජන සහභාගිත්වය උපරිම කර ගත යුතු නමුත්, පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන ශ්‍රම බලකායෙහි කාන්තා සහභාගිත්වය පහල වැටීමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණයයි.

එම සමීක්ෂණය සහ ජන හා නිවාස සංගණනයට අනුව, 2006 දී 39.5% ක් වූ ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් සක්‍රිය විය හැකි වියේ පසුවන කාන්තාවන්ගේ රැකියා නියුක්තිය 2014 දී 34.7% ක් දක්වා පහල වැටී තිබේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසිය සමග එක්ව පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසනයට වැට බැඳීමේ විශේෂ වැඩපිළිවෙලක් UNFPA ආයතනය පසුගියදා නිවේදනය කළේය.

Image caption 119 අංකයට හෝ සැකකරු පිළිබඳව විස්තර දන්නේ නම් 1938 සහ 2444444 අංකවලට පොලිසිය අමතන්න - සහකාර පොලිස් අධිකාරිනී එල්ජී අමරසේන