පන්සලේ වැවෙන 'ස්වයංජාත ඇල් සහල්'

  • 2017 මාර්තු 4
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ආහාර හිඟයට 'ස්වයංජාත ඇල් සහල්'?

ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ ගණනාවක පැවති නියං තත්වය හමුවේ රට තුළ ආහාර හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවට බලධාරීහු පසුගියදා අනතුරු ඇඟවූහ.

රට තුළ ආහාර හිඟයක් ඇති වුනොත් කොස් කොළ, ක්‍රෝටන් කොළ, ජපන් බටුකොළ හා කෝප්ප කොළ වැනි ශාක පත්‍ර ආහාරයට ගතහැකි බවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද ප්‍රකාශයක් ඒ දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතාබහට ලක් විය.

මේ අතර ඇතිවිය හැකි ආහාර හිඟයකට විකල්පයක් වශයෙන් වී ශාකයට බෙහෙවින් සමාන 'ස්වයංජාත ඇල් සහල්' නමින් හඳුන්වනු ලබන ධාන්‍ය විශේෂයක් වගාකරන බෞද්ධ හිමිනමක් පිළිබඳ නුවරඑළියෙන් වාර්තා වේ.

නුවරඑළිය ශාන්තිපුර විහාරයේ විහාරාධිකාරී මොරපේ කුසලඥාණ හිමියන් පවසන පරිදි 'ස්වයංජාත ඇල් සහල්' ගසෙන් ලබා ගන්නා ධාන්‍යය, හාල්වලට බෙහෙවින් සමානවන අතර වගාව සඳහා ජලය අවශ්‍ය වන්නේ ඉතාමත් අඩුවෙනි.

'බෞද්ධ ඉතිහාසයේ'

"මෙහි විශේෂත්වය තමයි වෙනත් වී ඇටවල වගේ පොත්තක් මේ වීවල නොවීම. වී පොත්ත නැතිවයි ඵලදාව ලැබෙන්නේ. වාර්ෂිකව එක පඳුරකින් කිලෝ දහයක් දොළහක් ගන්න පුළුවන්" යයි කුසලඥාණ හිමියෝ පවසති.

මොරපේ කුසලඥාණ හිමියන් පවසන පරිදි 'ස්වයංජාත ඇල් සහල්' පිළිබඳව බෞද්ධ පොතපතේ ද දැක්වෙයි.

"මේ වී වර්ගය පිළිබඳ අපට මුලින්ම ආරංචි වෙන්නේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සුත්‍රයේ. ස්වයංජාත ඇල් හාල් නමින් ධාන්‍ය වර්ගයක් බුදුහාමුදුරුවොත් සඳහන් කරලා තියෙනවා" යනුවෙන් එහිමියෝ කියා සිටියහ.

මිනිස් පරිභෝජනයට?

Image caption නුවරඑළිය ශාන්තිපුර විහාරයේ විහාරාධිකාරී මොරපේ කුසලඥාණ හිමි


ඇතැමුන් මෙය වී වර්ගයක් ලෙස හඳුන්වනු ලැබුවත් එය විද්‍යාත්මක වශයෙන් ඉරිඟු කුලයට (Sorghum) අයත් තෘණ ශාක විශේෂයක් බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අමිතා බෙන්තොට පැවසුවාය.

බොහෝ කාලයක පටන් වියලි කලාපයේ හේන්වල 'ස්වයංජාත ඇල් සහල්' වගා කර ඇති බව කී ඇය එම ධාන්‍ය වර්ගය මිනිස් පරිභෝජනය සඳහා යොදා ගැනීමේ බාධාවක් නොමැති බව සනාථ වී ඇති බවත් පැවසුවාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්