"පාතාලය ඉවර කරන්නට ඕන"

  • 2017 මාර්තු 5
Image caption "ඒ කාලෙත් නොයෙකුත් ඝාතන මේ විදියටම සිදුවුනා"

පාතාල කල්ලි මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරුන් හමුවීම සඳහා අද (මාර්තු 05) මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

"මේ පාතාලය ඉවර කරන්නටම අවශ්‍යයි. එදා වගේ නැති වුනත් යම් දැඩි ක්‍රියාමාර්ග අරගෙන පාතාලය කියන එක අපි ඉවර කරන්නට ඕන." යනුවෙන් ඇමතිවරයා පැවසීය.

කෙසේ නමුත් පසුගිය ආණ්ඩු සමය හා සංසන්දනය කරනවිට වර්තමානයේ පාතාල කල්ලි ක්‍රියාකාරකම්වල හිස එසැවීමක් දැකිය නොහැකි බව සෞඛ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු කියා සිටියේ මේ වනවිට පාතාල කල්ලිවල මැර ක්‍රියා අඩුවී ඇති බවය.

"නැහැ. හිස ඔසවල නැහැ. මෙවැනි සිදුවීම් පසුගිය රජය මුළු රාජ්‍ය බලය යොදලත්, නීතිය තමන්ට ඕන විදියට පාවිච්චි කරලත් ඒ කාලෙත් සිදුවුනා. ඒ කාලෙත් නොයෙකුත් ඝාතන මේ විදියටම සිදුවුනා. උසාවි සංකීර්ණ ඉදිරිපිට, උසාවියට ගෙන එන අයට මේ විදියටම සිදුවුනා. නමුත් අද ඒ තත්වෙන් බැලුවම අද හුඟක් අඩුයි." යනුවෙන් රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කළේය.