ඇමතිගෙන් බලපෑමක් නැහැ -පොලිස්පති

  • 2017 මාර්තු 6
Image caption වවුනියාව පොලිස් සංකීර්ණයේ ඉදිකළ සාම චෛත්‍යයේ ධාතු තැන්පත්කිරීම සඳහා පැමිණි පොලිස්පතිවරයා

තමන්ට විෂය භාර අමාත්‍යවරයාගෙන් කිසිදු බලපෑමක් නොමැති බව පොලිස්පති පූජිත ජයසුන්දර පවසයි.

පොලිසිය කිසිදු අයෙකුගේ බලපෑමකට යටත්ව රාජකාරි නොකරන බවත් පොලිස් කොමිසම හා ව්‍යවස්ථාදායක සභාව නිසා පොලිසියට එවැන්නක් කළ නොහැකි බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු මේබව කියාසිටියේ වව්නියාවට පැමිණි අවස්ථාවේදී බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

මහත් ආන්දෝලනයකට ලක්වූ නිලමේ නැමති පුද්ගලයා සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී ද කිසිවකුගෙන් බලපෑමක් නොවූ බව පොලිස්පතිවරයා මෙහිදී සදහන් කළේය.

'නිලමේ' නමින් හැඳින්වුණු පුද්ගලයා කවුරුන්දැයි බීබීසී සංදේශය විමසූවිට පොලිස්පතිවරයා කියාසිටියේ පොලිසියට එක් පුද්ගලයෙකු කිසි විටකත් වැදගත් නොවන බවය.

Image caption චෛත්‍ය ගර්භයේ ධාතු තැන්පත්කරමින්

පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ලබාගෙන හැකි ඉක්මනින් පාතාල කල්ලි මර්දනය කිරීමට පියවර ගන්නා බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

පාතාල කල්ලි මර්දනය කිරීම නීත්‍යනුකූලව සිදු කරන අතර ඒ සඳහා සුදු වැන්, කුළීකරුවන් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවන් අනුගමනය නොකරන බවත් බුද්ධි වාර්තා සහ සාක්‍ෂි පමණක් ප්‍රයෝජනයට ගන්නා බවත් පොලිස්පතිවරයා පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ පසුගිය වර්ෂයේ සංඛ්‍යා ලේඛන සමග සසඳා බලනවිට පාතාල කල්ලි විසින් සිදුකරනු ලබන අපරාධ ඉහළයාමක් දක්නට නොලැබෙන බවය.

නමුත් සිදුවන අපරාධවල භීෂණ තත්වයක් පෙන්නුම් කරන බව කී පොලිස්පතිවරයා එම භීෂණකාරී අපරාධවල නියැලෙන පුද්ගලයින් වැඩිවීම කෙරෙහි බලපාන සාධක රැසක් ඇති බව පැහැදිලි කළේය.

පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ද, ඔවුන් විසින් සඟවන ලද අවි ද, සේවය හැරගිය ආරක්ෂක අංශ සාමාජිකයින්ද මෙම භීෂණකාරී අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.