‘යන එන මං නැති’  හම්බන්තොට වන අලි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘යන එන මං නැති’ හම්බන්තොට වන අලි

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ වන අලි 40ක් පමණ රැඳී සිටින බවත් සෑම දිනකම පාහේ වරායේ 'චයිනා හාබර්' සමාගමට අයත් කොටසට පැමිණ හානි කරන බවත් එහි සිටින නිලධාරීහු පවසති.

එසේ වන අලි රංචුවක් පැමිණ සිටින බවට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්හට ලැබුණු තොරතුරකට අනුව එම වන අලි රංචුව එළවා දැමීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (06) සවස ක්‍රියාත්මක කෙරිණි.

සවස 05.30 පමණ සිට රාත්‍රී 09.00 පමණ වන තෙක් ක්‍රියාත්මක කෙරුණු මෙහෙයුම මගින් වරාය අවට රැඳී සිටි වන අලි 15 දෙනෙකු පමණ එලවා දැමීමට වනජීවී නිලධාරීහු සමත් වූහ.

සංවර්ධන කලාප

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනඅලි ඇතුළු වනසතුන් බහුලව ජීවත් වූ ප්‍රදේශ මේ වනවිට ප්‍රධාන සංවර්ධන කලාප බවට පත්කර තිබේ.

මේ සංවර්ධන කටයුතු සමග අවතැන්වන අලි-ඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයක් ප්‍රකාශයට පත්කළ යුතු බව හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට ප්‍රථමයෙන් සකස්කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් වේ.

නමුත් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයක් මේ දක්වා වෙන්කර නොමැතිකම හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව හා උණුදිය පොකුණ ආදී ප්‍රදේශයන්හි අලි - මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත් ව තිබෙන බව පරිසර සංරක්ෂණ භාරයේ සභාපති සජීව චාමිකර පෙන්වා දෙයි.

රක්ෂිත ප්‍රදේශය

හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිටින වන අලි විටින් විට වරාය අධිකාරියට අයත් ආරක්‍ෂිත වැටද බිඳ දමමින් තම වගාවන්ටද හානි සිදුකරන බව ප්‍රදේශයේ ගොවි ජනතාවද පෙන්වා දෙති.

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිත ප්‍රදේශය නීත්‍යානුකූලව වෙන් කර ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් හම්බන්තොට වන අලි ගැටළුවට විසඳුම් ලැබෙන ඇති බව වන අලි සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය පෘතුවි රාජ් ප්‍රනාන්දු පවසයි.